04

E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

0637/2024: වසා දැමූ රජයේ පාසල් : විස්තර

637/2024

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට වසා දමා ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පාසල්වල ඇති ඉඩම් සහ ගොඩනැගිලි වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2023 වර්ෂයේදී අධ්‍යාපනය සඳහා විදේශ ගත වී ඇති මුළු ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සිසුන් වෙනුවෙන් එක් වර්ෂයකට වැය කිරීමට සිදු වන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මේ වනවිට ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇති සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට පවතින විදුහල්පතිවරුන්ගේ හිඟය මගහැරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාල පරාසය තුළදී රජයේ පාසල් 80ක් වසා ඇති අතර එම පාසල් සියල්ලම පළාත් සභා පාසල් වේ.

              (ii)      අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා වූ දැනට වසා දමා ඇති පාසල් ඉඩම් පහත දක්වා ඇති පරිදි වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කරනු ලබයි.

               Ø   රජයේ සියලු පාසල් සඳහා

1. කලාපයේ වෙනත් පාසලක අධ්‍යාපන අවශ්‍යතා සඳහා ලබා දීම.

උදාහරණ - වසා දමා ඇති මාතර ජිනරාජ විදුහලේ ඉඩම් මාතර ශාන්ත තෝමස් විදුහලේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇත.

2. අධ්‍යාපන අමාත්‍යාංශයේම වෙනත් අධ්‍යාපන කාර්යයක් සඳහා ලබා දීම.

උදාහරණ - වසා දමා ඇති නාවලමුල්ල බෞද්ධ සිංහල මිශ්‍ර පාසලේ ඉඩම් පිරිවෙන් සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ලබා දී ඇත.

3. මුල් හිමිකරුවන් නිශ්චිත නොමැති ඉඩම් හා ගොඩනැඟිලි අවසතු නොකොට රජයේම වෙනත් ආයතන සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රයෝජනයට ගැනීම.

උදාහරණ - කළු/පුහුවල මිවනපලාන සිංහල බෞද්ධ මිශ්‍ර විදුහලේ ගොඩනැඟිලි ප්‍රාදේශීය ලේකම් විසින් සේවා පියසක් පවත්වාගෙන යෑම සඳහා භාවිත කිරීම.

Ø 1964 අංක 28 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ පවරා ගත් පාසල්

4. රජයේ වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ඉල්ලීම පරිදි අධ්‍යාපන කාර්යය සඳහා වූ මුල් අරමුණ සංශෝධනය කර එම ආයතන සඳහා ලබා දීම.

උදාහරණ - මහ/උනම්බුව රජයේ විද්‍යාලයෙහි අක්කර 2ක් ගම්පොල විශේෂ කාර්යය බලකා කඳවුරක් පිහිටවීම සඳහා පොලිස් දෙපාර්ත‍මේන්තුව වෙත ලබා දීම.

Ø 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල (පරිපූරක) විධිවිධාන පනත යටතේ රජයට පවරාගත් පාසල්.

5. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (පරිපූරක විධිවිධාන) පනත යටතේ රජයට පවරා ගත් එහෙත් තවදුරටත් අධ්‍යාපන කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගත නොහැකි ඉඩම් මුල් හිමිකරුවන් වෙත අවසතු කිරීම.

උදාහරණ - යාපනය සොරන්පත්තු සී.සී. දෙමළ මිශ්‍ර පාසල

(ආ) (i) විදේශ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් රාජ්‍ය අංශය මැදිහත්වීමෙන් හා පෞද්ගලිකව හෝ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් සිසුන් විදේශගත වන බව නිරීක්ෂණය කරමි. පෞද්ගලිකව හෝ පෞද්ගලික ආයතන මඟින් විදේශ ගත වන සිසුන්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා නොවන අතර රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වූ වැඩසටහන් හෝ ව්‍යාපෘති මඟින් අධ්‍යයන කාර්යයන් සඳහා විදේශගත වූ සිසුන්ගේ තොරතුරු පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පවතී. ඒ අනුව 2023 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උපාධි හෝ පශ්චාත් උපාධි සඳහා සිසුන් 134දෙනෙකු විදේශගත වී ඇත.

(ii) ශ්‍රී ලංකාවේ සිසුන් අධ්‍යාපනය සඳහා විදේශගත වීම ඉහත (ආ) i පරිදි රාජ්‍ය හා පෞද්ගලික මැදිහත්වීම මත සිදු වන අතර, පෞද්ගලිකව අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් ඒ සඳහා වැය කරන ලද විදේශ විනිමය ප්‍රමාණය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තා නොවේ.

නමුත් කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විදේශගත වන සිසුන් වෙනුවෙන් අංක 11/0189/521/003 අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව එක් සිසුවෙකුට ඇමෙරිකානු ඩොලර් 15 බැගින් වූ මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කරනු ලැබේ.  ඒ අනුව 2023 වර්ෂයට අදාළව අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින සිසුන් සඳහා ඇමෙරිකානු ඩොලර් 1,155ක් මෙම අමාත්‍යාංශය විසින් දරනු ඇත.

(ඇ) (i) සංවර්ධන නිලධාරින් ලෙස සේවය කරන ලද නිලධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම අවස්ථා කිහිපයකදී සිදු කර ඇති අතර, එහිදී ජාතික පාසල් මෙන්ම පළාත් සභා පාසල් සඳහාද අන්තර්ග්‍රහණය කර ඇති බැවින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇති සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කළ නොහැකිය.  ඒ පිළිබඳ නිවැරදි දත්ත රැස්කිරීම සිදු කරන අතර ඉන් අනතුරුව අන්තර්ග්‍රහණය කර ඇති නිලධාරින්  සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

එලෙස අන්තර්ග්‍රහණය කිරීම, නිශ්චිත කණ්ඩායමක් තරග විභාගයක් නොමැතිව සම්මුඛ පරීක්ෂණයක් මඟින් ගුරු සේවයට බඳවා ගැනීම‍, ඍජුවම අන්තර්ග්‍රහණය සහ තරග විභාගයක් පවත්වා එම ප්‍රතිඵල මත තෝරා ගත් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම යන ආකාරයන් යටතේ පහත පරිදි සිදු කර ඇත.

තරග විභාගයක් නොපවත්වා සම්මුඛ පරීක්ෂණයක් මඟින් ගුරු සේවයට බඳවා ගැනීම.

I. අංක අමප/06/0742/229/038 හා 2006.05.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ගුරු සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු සංවර්ධන සහකාරවරුන්, මූල්‍ය සහකාරවරුන් හා වැඩසටහන් සහකාරවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට අනුමැතිය හිමි වී ඇත.

එම අනුමැතිය ප්‍රකාරව 2006.10.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පිරිස වෙත පත්වීම් ලබා දී ඇත.

II. අංක අමප/13/1054/523/050 හා 2013.09.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දැනට උපාධිධාරි අභ්‍යාසලාභී යෝජනා ක්‍රමය යටතේ පුහුණුව ලබන හෝ පුහුණුව ලැබීමෙන් අනතුරුව සංවර්ධන නිලධාරි තනතුරට පත්වීම් ලබා ඇති උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් 453 නමක් සහ සෙසු ආගමික පූජකතුමන්ලා සුළු පිරිසක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ගුරු සේවයට බඳවා ගැනීමට අනුමැතිය හිමිවීම මත උපාධිධාරී භික්ෂූන් වහන්සේලා හා සෙසු ආගමික පූජකවරුන් 422ක ප්‍රමාණයක් ජාතික හා පළාත් පාසල් ගුරු සේවයට බඳවා ගෙන ඇත.

ගුරු සේවයට ඍජුවම අන්තර්ග්‍රහණය කිරීම.

I. අංක 19/විවිධ (066) හා 2019.12.18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ බඳවා ගන්නා ලද භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අනුමැතිය ලැබීම මත 2020 වර්ෂයේ සිට මේ දක්වා පහත පරිදි ඍජුවම අන්තර්ග්‍රහණය  සිදු කර ඇත.

වර්ෂය

ගුරු පත්වීම් ලබා දුන් ගණන

2020

55

2021

32

2022/2023

42

 

 

 

 

 

 

(මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.)

තරග විභාගයක් පවත්වා එම ප්‍රතිඵල මත තෝරා ගත් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම.

 

I. උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරින් (සංවර්ධන නිලධාරි, සංවර්ධන සහකාර හා සැලසුම්/මූල්‍ය සහකාර) ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක අමප/17/1468/742/005-1 හා 2017.08.23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලද අනුමැතිය අනුව පවත්වන ලද ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල මත සුදුසුකම්ලාභීන් 592කට 2019.05.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ ස්ථීර පත්වීම් ලබා  දෙන ලදී.

II. අංක අමප/20/1552/308/041 හා 2020.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉහත බඳවා ගැනීමට අදාළව ප්‍රථම අදියරේදී පත්වීම් ලබා දීමට නොහැකි වූ පත්වීම්ලාභීන් 52දෙනෙකු වෙත 2020.10.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ ස්ථීර පත්වීම් ලබා දෙන ලදී.

 

     (ii) 2018/2019 දී පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත 2023.11.16 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණිය සඳහා නිලධාරින් 4,672ක් බඳවාගෙන එම නිලධාරින් ජාතික පාසල් වෙත සහ සියලු පළාත් මඟින් පළාත් පාසල් වෙත ස්ථානගත කිරීම අවසන් කර ඇත. ඉහත සංඛ්‍යාවට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/EST/09-03/01/2024 හා 2024.03.01 දිනැති ලිපියෙන් දැනුම් දුන් තීරණය ප්‍රකාරව සම ලකුණු ලැබූ අයදුම්කරුවන් 167දෙනෙකු සඳහා 2024.04.02 දින පත්වීම් ලිපි ලබා දීමට සැලසුම් කර ඇත.

එම නිසා විදුහල්පති තනතුරුවල මේ වන විට බරපතළ හිඟයක් නොමැති අතර වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් 1,800ක් සඳහා දැනට යම් වැඩ පිළිවෙළක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් සමඟ සාකච්ඡා කර සකස් කර ඇත.

 

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks