පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2469/’12
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ දක්වා පවත්වා ඇති “දැයට කිරුළ” ප්‍රදර්ශණ සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ප්‍රදර්ශණය පැවැත්වූ ස්ථානය කවරේද;
(iii) එම එක් එක් ප්‍රදර්ශණය සඳහා වැයකළ මුදල කවරේද;
(iv) අනාගතයේදී පැවැත්වීමට සැලසුම්කර ඇති දැයට කිරුළ ප්‍රදර්ශණ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති “දැයට කිරුළ” ප්‍රදර්ශණය පැවැත්වූ දිනය කවරේද;
(ii) එය පැවැත්වූ ස්ථානය සහ එකී ප්‍රදර්ශණ භූමිය සඳහා පවරාගත් ඉඩම් ප්‍රමාණය කවරේද;
(iii) එම ප්‍රදර්ශනය සඳහා වූ සමස්ත පිරිවැය සහ එක් එක් අමාත්‍යාංශය වෙනුවෙන් වැයකළ මුදල කොපමණද;
(iv) ඒ සඳහා ගනු ලැබූ ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වැයකළ මුදල සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(v) එම භූමියේ දැනට ඉතිරිව ඇති ප්‍රාග්ධන භාණ්ඩ හෝ ගොඩනැගිලි කවරේද;
(vi) එම ප්‍රදර්ශනය සඳහා ගනු ලැබූ ඉහත සඳහන් ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වැයකළ වියදම සාධාරණීකරණය කළ හැකිවන්නේ කෙසේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දැයට කිරුළ ප්‍රදර්ශන සංඛ්‍යාව 08කි.
(ii)
1. 2007 - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
2. 2008 - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
3. 2009 - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
4. 2010 - පල්ලේකැලේ
5. 2011 - බුත්තල
6. 2012 - අනුරාධපුරය ඔයාමඩුව
7. 2013 - අම්පාර හාඩි විශ්වවිද්‍යාලය
8. 2014 - වයඹ විශ්වවිද්‍යාලය/කුලියාපිටිය කාර්මික විද්‍යාලය/කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය
(iii) 2007 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා පැවති දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන සඳහා වන වියදම් ඒ ඒ අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තුවලට වෙන් කරන ලද ප්‍රතිපාදන මගින් කළමනාකරණය කරන ලදී. එසේම ප්‍රදර්ශනය සඳහා වන මෙහෙයුම් වියදම් අමාත්‍යාංශ මට්ටමින් දරනු ලැබීය. කොළඹ පැවති ප්‍රදර්ශන මෙන්ම කොළඹින් පිටත පවත්වන ලද ප්‍රදර්ශනවලට සමගාමීව සිදු කරන ලද වැඩ සඳහා ද රේඛීය අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන තුළ සිදු කරන ලදී.
එබැවින් වාර්ෂික ඇස්තමේන්තුවල ඇතුළත් සමහර ව්‍යාපෘති සඳහා වූ ආයෝජන තුළ අදාළ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වූ වියදම් සිදු කර ඇති බැවින් දැයට කිරුළ සඳහා පමණක් කරන ලද වියදම් ලෙස වෙනම හඳුනා ගැනීම අපහසු වේ. මෙම වෙන් කරනු ලබන මුදල් මගින් ප්‍රචාරක කටයුතු, ව්‍යාපෘති හඳුනා ගැනීම්, ප්‍රවර්ධන කටයුතු හා සුබසාධන කටයුතු සඳහා වියදම් දරා ඇත.
2012 - රු.මි. 195
2013 - රු.මි. 130
2014 - රු.මි. 100
(iv) 2015 දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
(ආ) (i) 2012 පෙබරවාරි මස 04 දින සිට 12 වන දින දක්වා.
(ii) මෙම ප්‍රදර්ශනය සඳහා භාවිතා කරනු ලැබුයේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් භූමියකි. රජයේ ආයතනයකට අයත් භූමියක් බැවින්, ඉඩම් පවරා ගැනීම අවශ්‍ය නොවේ.
(iii) වැය වූ සමස්ත පිරිවැය : රු. මි.820කි.
පුනරාවර්තන හා ප්‍රාග්ධන යන වියදම් දෙවර්ගයම එකතු කර ඇත.
(iv) දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රු. දස ලක්ෂ විසි දහසක් පමණ ද මහා මාර්ග සඳහා දස ලක්ෂ දස දහසක් පමණද වියදම් දරා ඇත.
(v)
1. ලංකාවේ ඉදි කළ විශාලතම වී ගබඩාව ලෙස එක් ගොඩනැගිල්ලක් වර්ග අඩි 38,809කින් යුත් ස්ථිර ගබඩා ගොඩනැගිලි 03 ඉදි කර ඇත.
2. විදුලි බල මණ්ඩලය මගින් කාර්යාලය සඳහා ඉදි කරන ලද ගොඩනැගිල්ල, ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කෙරේ.
3. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදි කරන ලද ජනාධිපති ලේකම් කාර්යාල අනුරුවට සමාන ගොඩනැගිල්ල (දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
4. පශු සම්පත් ගොඩනැගිලි 12 ඉදි කර ඇත.
5. ග්‍රාම ලේකම් කාර්යාලය ඉදි කර ඇත.
6. ජල සම්පත් මණ්ඩලය මගින් ඉදිකරන ලද ජල පිරිපහදුව සහ ටැංකි 02 (ප්‍රදේශයට වතුර ලබා දීමට)
7. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් දැයට කිරුළ භූමියේ පෙර පාසල හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කර ඇත.
8. ඔයාමඩුව ගොවිපළෙහි ආදර්ශ පොල් පැළ වගාවක් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය විසින් ස්ථාපනය කර ඇත.
9. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා වැසි ජල ටැංකි ඉදිකිරීම් සිදු කර ඇත.
10. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ප්‍රදර්ශනය සඳහා ලබා ගත් පරිගණක යන්ත්‍ර හා උපාංග ප්‍රදර්ශනයෙන් අනතුරුව එම කාර්යාලයේ පරිහරණයට ගෙන ඇත.
11. ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල
12. පෙර පාසල ඉදිරිපිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් ඉදි කළ සෙල්ලම් මිදුල
(vi) ප්‍රදර්ශන භූමිය තුළ වූ ප්‍රාග්ධන වියදම පිළිබඳව කරුණු මෙසේ පැහැදිලි කරමි.
01. ලංකාවේ ඉදිකළ විශාලතම වී ගබඩාව ලෙස වර්ග අඩි 38,809කින් යුත් ගබඩා ගොඩනැගිලි 03 භාවිතා කරයි. මන්නාරම, මුලතිව්, පුත්තලම සහ කුරුණෑගල යන ප්‍රදේශවලට මෙමගින් ගබඩා පහසුකම් සැලසේ. මෙ.ටො. 50000ක ධාරිතාවකින් යුක්ත වන නිසා මෙය එම ප්‍රදේශයට ලැබුණු විශාල වාසියකි. මේ සඳහා වැය කළ මුදල රු.මි. 250කි.
02. මෙම ප්‍රදේශවල පැවති ප්‍රධාන ගැටලුවක් වන්නේ විදුලිය බිඳ වැටුණු අවස්ථාවලදී ඒවායේ නඩත්තු කටයුතු සඳහා කාර්යාලයක් නොපැවතීමයි. නමුත් දැයට කිරුළ තුළින් කාර්යාලයක් සහ නඩත්තු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයක් ලැබීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාවට තම දෛනික කාර්යයන්හිදී විදුලි බිඳ වැටීම් අවම වීම නිසා අපහසුවකින් තොරව නිරත වීමට ඉඩකඩ සැලසී ඇත. මෙමගින් එම ප්‍රදේශවාසීන්ගේ විදුලිය සම්බන්ධ සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීමට හැකියාව ලැබී ඇත.
03. වඩාත් හිතකර දෙය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වා ගෙන ගිය අති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ගොඩනැගිල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස යොදා ගැනීමය. එමගින් රාජ්‍ය නිලධාරින්ට තෘප්තියෙන් සේවයේ නිරත වීමටද, ජනතාවගේ සේවා අවශ්‍යතාවන් ඉටු කර ගැනීමටද හැකියාව ලැබී ඇත.
04. දැයට කිරුළ භූමියේ ඉදිකර ඇති පෙර පාසල මගින් මෙම ප්‍රදේශවාසීන්ගේ දරුවන්ගේ මූලික අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සම්පූර්ණ වේ.
05. දැයට කිරුළට සමගාමීව ඇරඹුණු ආදර්ශ කජු වගාව, පොල් වගාව, වන වගාව ස්ථිර භෝග වගාවක් ලෙස පවත්වාගෙන යාම තුළින් එහි අස්වැන්න ප්‍රදේශවාසීන්ට ලබා ගත හැකිය. එමෙන්ම වගා කිරීම සඳහා ජනතාව තුළ උද්යෝගයක් ඇති කිරීමටද එය විශාල පිටිවහලක් වී ඇත.
06. වැසි ජලය අපතේ යාමට ඉඩ නොදී ඵලදායී කාර්යයන් (එදිනෙදා අවශ්‍යතා) සඳහා යොදා ගැනීමට වැසි ජල ටැංකි මගින් හැකියාව ලැබී ඇත.
07. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රදර්ශනය සඳහා ලබා දුන් පරිගණක යන්ත්‍ර හා උපාංග කාර්යාලයේම පරිහරණය සඳහා ලබා ගැනීම මගින් ඒ සඳහා වැය කළ මුදල ආයතනයේ තත්ත්වය වැඩිදියුණු වීමට හේතු වී ඇති අතර, එවිට ලබා දෙන සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු වේ.
08. ඉතා දුෂ්කර ප්‍රදේශයක දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුණි. එම ප්‍රදේශවාසීන් ත්‍රස්ත තර්ජනවලින් බැට කෑමෙන් එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීම සම්බන්ධයෙන් විශාල පසු බෑමක් ලබා සිටියහ. නමුත් දැයට කිරුළ තුළින් ඉදිකළ ග්‍රාම ලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ජනතාවට තම ගැටලු රාජ්‍ය නිලධාරින් හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසී ඇත. එමගින් ඔවුන්ගේ ගැටලු කෙටි කාලීනව විසඳා ගැනීමේ හැකියාව උදා වී ඇත.
09. පශු සම්පත් ගොඩනැගිලි මගින් රාජ්‍ය සේවාවන් ප්‍රදේශය තුළට පැමිණීම නිසා ප්‍රාදේශීය ජනතාවට අපහසුවකින් තොරව රාජ්‍ය නිලධාරින් හමු වීමට, ඔවුන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීමටද අවස්ථාව සැලසී ඇත. එමගින් යම් අරමුණක් සහිතව සැලසුමකින් යුතුව තම ජීවන ගමන ගෙන යාමට හැකි වී ඇත.
10. මෙම ප්‍රදේශ වාසීන් මුහුණ පා ඇති ජල ගැටලුවට පිළියමක් වශයෙන් ජල පිරිපහදු ටැංකි 02ක් ඉදි කරන ලදී. එමගින් පිරිසිදු පානීය ජලය ලබන පවුල් සංඛ්‍යාව 350කි. තවද ඉදිරියේ දශක දෙකක පමණ ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් පරිදි මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ඇත.
11. ප්‍රදේශයේ දූ දරුවන්ගේ දැනුම වර්ධනයට, විවේක කාලය අර්ථවත්ව ගත කිරීමට පුස්තකාලය මහඟු රුකුලක් වී ඇත. නිර්මාණශීලී දරු පිරිසක් අනාගතය සඳහා දායාද කිරීමට මෙමගින් හැකි වේ.
12. ප්‍රදේශයේ දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්වල නිදහසේ නිරත වීමේ හැකියාව සෙල්ලම් මිදුලක් ඉදිකිරීම තුළින් ලැබේ. දරුවන්ගේ එකමුතුකම, සාමූහිකත්වය මෙයින් වර්ධනය වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks