01

E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0042/2024: මාතර රාහුල විද්‍යාලයේ නව ස්මරණ ශාලාවේ ඉදිකිරීම්: විස්තර

42/2024

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කඹුරුපිටිය, මිරිස්වත්ත වලව්වේ පදිංචිව සිටි සාරා ලෝරෙන්සිනා විජේසිංහ මැතිනිය විසින් තම දෙමාපියන් සිහිවීම පිණිස මාතර, රාහුල විද්‍යාලයට පරිත්‍යාග කරන ලද ගුණතිලක ස්මරණ ශාලාව කඩා ඉවත් කරන ලද බව දන්නේද;

(ii) එසේ නම්, එම ශාලාව කඩා ඉවත් කිරීමට හේතු කවරේද;

(iii) එය කඩා ඉවත් කරන ලද දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගුණතිලක ස්මරණ ශාලාව වෙනුවට ඉදිකරනු ලබන නව ස්මරණ ශාලාව සඳහා ඇස්තමේන්තු මුදල කොපමණද;

(ii) එම මුදල ලබා ගැනීමට අපේක්‍ෂිත මූලාශ්‍ර කවරේද;

(iii) නව ස්මරණ ශාලාව ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැය කරනු ලබන මුදල කොපමණද;

(iv) ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුදල් ප්‍රමාණයක් ලබා දී තිබේද;

(v) එසේ නම්, එම මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) නව ස්මරණ ශාලාවේ ඉදිකිරීම්වලින් මේ වනවිට නිම කර ඇති ප්‍රමාණය කොපමණද;

(ii) ඉතිරි ප්‍රමාණය නිම කිරීමට අපේක්ෂිත දිනය කවරේද;

(iii) එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      පැවති ගොඩනැඟිල්ල 2013 වර්ෂය වන විට වසර 80ක් පමණ පැරණි තනිමහල් ගොඩනැඟිල්ලක් වූ අතර, එම ගොඩනැඟිල්ලෙහි යකඩ මළ කා, අලුත්වැඩියා කර භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ බැවින්, කඩා ඉවත් කර නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

             (iii)      2013 වසරේ අග භාගයේදී එය කඩා ඉවත් කර ඇත.

(ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 118.8කි.

(ii) මුල් අදියර යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් රුපියල් මිලියන 50ක මූල්‍යාධාර ලබා දී, යුද හමුදා ශ්‍රම දායකත්වය ලබාගෙන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරීම් මෙහෙයවා ඇත.

පසු අදියර සඳහා අමාත්‍යාංශයේ ජාතික අය වැය ප්‍රතිපාදන මඟින් මුදල් සපයා ගැනීමට නියමිතව ඇත.

(iii) ඉතිරි වැඩ සඳහා 2016දී පිළියෙළ කරන ලද ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 172ක් පමණ වූ අතර එවකට තිබූ ප්‍රතිපාදන තත්ත්වය සලකා 2017 වර්ෂයේදී ශ්‍රවණාගාරයේ II අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ජාතික අය වැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 44.1ක ප්‍රතිපාදන ලබා දී එම කොටස මේ වන විට නිම කර ඇත.

අවසන් අදියර ඉදිකිරීම සඳහා දැනට 2024 වර්ෂයට වූ ප්‍රතිපාදන සීමා වී ඇති බැවින් ඉතිරි ප්‍රතිපාදන 2025 වර්ෂයේදී වෙන් කිරීමට නියමිතව ඇත.

(iv) නැත.

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන උපයෝගී කරගෙන I අදියරේ ඉදිකිරීම් ඔවුන් විසින් මෙහෙයවා ඇත.

(v) අදාළ නොවේ.

 

(ඇ) (i) නව ස්මරණ ශාලාවේ ඉදිකිරීම්වලින් මේ වන විට සියයට 70ක් පමණ නිම කර ඇත.

(ii) 2025 වර්ෂය අවසානයේදී පමණ ඉතිරි ප්‍රමාණය නිම කිරීමට අපේක්ෂිත ය.

(iii) ප්‍රතිපාදන සලසා ගැනීමට තිබූ දුෂ්කරතා එම ඉදිකිරීම් ප්‍රමාද වීමට හේතු විය.

 

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks