පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1/2024
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අකුරණ ප්‍රදේශවාසීන් විසින් කැළි කසල, අබලි ගොඩනැඟිලි ද්‍රව්‍ය, හිස් ටින්, ප්ලාස්ටික් බෝතල්, මළ අපද්‍රව්‍ය අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔයට දැමීම නිරතුරුවම සිදු කරනු ලබන බවත්;
(ii) එසේම එම ඔයේ ඉවුරු දෙපස අනවසරයෙන් ගොඩනැඟිලි ඉදිකරනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)හි සඳහන් හේතු නිසා වර්ෂා කාලයේදී ගංවතුර ඇති වීමේ අවදානම හා මහවැලි ගඟට දූෂිත අපද්‍රව්‍ය එකතු වීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා ලබා ගෙන තිබේද;
(ii) පිඟා ඔය දෙපස ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;
(iii) එයට කැළි කසල හා අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම ඔය දෙපස ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබේද;
(iv) මේ වනවිට පිඟා ඔයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පියවර ගෙන තිබේද;
(v) එසේ නම්, එම පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-05
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) ඔව්.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් මඟින් ප්‍රකාශිත ප්‍රදේශයක් වන අකුරණ නගරය පහත් බිමක පිහිටා තිබීමත්, ප්‍රධාන ජල ප්‍රවාහය අතුරු ජල ප්‍රවාහ සමඟ ලම්බකව පිහිටීමත් නිසා ප්‍රධාන ජල ප්‍රවාහයට සිදු වන බලපෑම මත මෙම නගරය නිරතුරුව ගංවතුර අවදානමකට ලක් වන අතර 2023.12.27 දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ලබා දී ඇති නියෝගයක් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කර ඇත. එහි වාර්තාව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වෙත ලබා දී ඇති අතර, එමඟින් ගංවතුර ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතව ඇත.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අකුරණ ප්‍රාදේශීය සභාවේ සහභාගිත්වයෙන් අකුරණ පිඟා ඔය දෙපස පවතින ඉදි කිරීම් 134ක් 2024 ජනවාරි සහ පෙබරවාරි යන මාසය තුළදී සමීක්ෂණය කරන ලද අතර ඉන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් නීත්‍යනුකූල අවසරයකින් තොරව ඉදි කර ඇති බව ලබා දුන් තොරතුරු අනුව නිරීක්ෂණය විය.
(iii) වර්ග කිලෝමීටර 72ක පෝෂක ප්‍රදේශයක සිට ප්‍රධාන ජල පෝෂකයන්ට එක්වනු ලබන අතුරු ජල ධාරා සමඟ කැළි කසළ පහළට ගලා එන බැවින් ඒවා බැහැර කරනු ලබන පුද්ගලයින් නිශ්චිතවම හඳුනා ගැනීමට අපහසුවීම නීතිමය පියවර ගැනීමට බාධාවක් වී ඇත. අකුරණ ප්‍රාදේශීය සභාව විසින් අතුරු ජල පෝෂක ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ප්‍රධාන ජල ප්‍රවාහය දෙපස පදිංචිකරුවන් සඳහා ග්‍රාමීය පරිසර කමිටුවක් පිහිටුවා ජල මාර්ගවලට මිශ්‍ර නොවන පරිදි කැළි කසළ බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම් සිදු කර ඇත.
2024 ජනවාරි සහ පෙබරවාරි මාස තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සමීක්ෂණය කර හඳුනාගන්නා ලද ගොඩනැඟිලි අතරින් ජල ගැල්මට බාධාවක්ව පවතින ගොඩනැඟිලි කොටස් හඳුනාගෙන ඇති අතර, බාධාවේ ප්‍රමාණය අනුව ප්‍රමුඛතා ගත කර, නීත්‍යනුකූල අනුමැති පරීක්ෂා කර, අකුරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියක්ද සහිතව අනවසර ගොඩනැඟිලි සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව මේ වන විට එක් අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකර එම ඉදිකිරීම ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටි.
(iv) ඔව්.
(v) අකුරණ ප්‍රාදේශීය සභාව විසින් කිලෝමීටර 2ක පමණ ප්‍රමාණයක රොන් මඩ හා කැළි කසළ ඉවත් කර පිඟා ඔය පුළුල් කිරීමට කටයුතු කර ඇත. තවද, ගලා යන ජලයේ කසළ හා අපද්‍රව්‍ය රැස් කිරීමට හැකිවන පරිදි දැල් ආවරණ 03ක් ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂයේ වාර්ෂික අය වැය මඟින් මුදල් වෙන් කර ඇති අතර, ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කර ඇත. එසේම අකුරණ බල ප්‍රදේශයේ ආගමික ස්ථාන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම යුද හමුදාව සමඟ එක්ව පිඟා ඔය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර ඇති අතර, එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනු ලැබේ. අතුරු ජල පෝෂක ප්‍රදේශවල පදිංචිකරුවන් හා ප්‍රධාන ජල ප්‍රවාහ දෙපස පදිංචිකරුවන් සඳහා ග්‍රාමීය පරිසර කමිටුවක් පිහිටුවා ජල මාර්ගවලට මිශ්‍ර නොවන පරිදි කැළි කසළ බැහැර කිරිම පිළිබඳ දැනුවත් කිරීම් කර ඇත. එහි පසුවිපරම් කටයුතු ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සිදු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks