01

E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

3537/2023: ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ අනුබද්ධ ආයතන: 2015-2019 දක්වා බඳවා ගත් සේවකයන්

3537/2023

ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා,— නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        වර්ෂ 2015 සිට 2019 දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හා එහි අනුබද්ධ ආයතනවලට බඳවාගන්නා ලද සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එසේ බඳවා ගන්නා ලද සේවකයන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේද;

(iii) නොඑසේ නම්, ඔවුන් බඳවාගන්නා ලද පදනම කවරේද;

(iv) එම බඳවාගැනීම් කවර ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකර තිබුණේද;

(v) එම සේවකයන්ගෙන් අපේක්ෂිත ඉහළ ඵලදායකත්වයක් ලබාගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අනුබද්ධ ආයතන නොමැති අතර දිවයින පුරා ස්ථාපනය කරන ලද දිස්ත්‍රික් කාර්යාල/නගර කාර්යාල සඳහා 2015, 2016, 2017, 2018, 2019 යන වර්ෂයන්හි බඳවාගෙන සේවයට වාර්තා කරන ලද කාර්ය මණ්ඩලය තනතුරු අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 1, 2, 3, 4, 5 මඟින් ඉදිරිපත් කර ඇත.

අංක 1 සිට 5 දක්වා ඇමුණුම් සභාගත* කරමි.

 

(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත 2015-2019 කාල වකවානුව තුළදී බඳවා ගන්නා ලද ස්ථිර කාර්ය මණ්ඩලය මෙම අධිකාරියට අනුමත බඳවා ගැනීම් පරිපාටියේ පවතින සුදුසුකම් 1979 අංක 17 දරන පනතේ විධිවිධාන අනුව පත්වීම් බලධාරියා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත බඳවාගෙන ඇත. එමෙන්ම මෙම අධිකාරියේ කොන්ත්‍රාත් හා දෛනික කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් පරිපාටියක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර නොමැති අතර කොන්ත්‍රාත් හා දෛනික පදනමින් බඳවාගත් සේවකයන් 1979 අංක 17 දරන පනතේ විධිවිධාන අනුව පත්වීම් බලධාරියා වන අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මත බඳවා ගැනීමට කටයුතු කර ඇත.

(iii) අදාළ නොවේ.

(iv) 2015-2019 කාල වකවානුව තුළදී බඳවා ගන්නා ලද කාර්ය මණ්ඩලය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හා දිවයින තුළ පවතින දිස්ත්‍රික් කාර්යාල 25ක් හා නගර කාර්යාල 2හි සේවා අවශ්‍යතාව මත එම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පත්වීම් බලධාරියාගේ අනුමැතිය පරිදි බඳවාගෙන අනුයුක්ත කර ඇත.

(v) එම කාලය තුළ බඳවා ගන්නා ලද සේවකයින් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් අතර, ඔවුන්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කර නොතිබුණි. එසේම වැටුප් වර්ධක ලබා දීමක් හෝ වෙනයම් කාර්යක්ෂමතා ඇගැයීමක් නොකරන ලදී. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව සඳහන් කරමි.

තවද, ඉහත කී කාල පරිච්ඡේදය තුළ මෙම අධිකාරියේ ස්ථිර සේවයට බඳවා ගන්නා ලද සේවකයින්ගෙන් 43දෙනෙක් මේ වන විට සේවයේ නියුක්තව සිටින අතර ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමේදී විෂය, ආයතනයේ දැක්ම පිළිබඳ ක්‍රියාකාරිත්වය දැනීම, නායකත්වය හා වෙනස් වන තත්ත්වයන්ට අනුව සකස් වීමේ හැකියාව යන නිර්ණායක පදනම් කරගනිමින් ඔවුන් අනුයුක්තව සිටින සේවා ස්ථානවල අංශ ප්‍රධානීන් විසින් කාර්යඵල වාර්ෂික ඇගැයීම් කර ඇති අතර, කාර්යඵල සතුටුදායක තත්ත්වයක පැවති හෙයින් වැටුප් වර්ධක හිමිකර දීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks