E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3354/2023: පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම: වැළැක්වීම

3354/2023

 

ගරු ජයන්ත සමරවීර මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු       අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට විනාශ කර ඇති පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

              (ii)       ඒවාට සිදු කර ඇති විනාශයේ ස්වභාවය කවරේද;

             (iii)       ඒවා විනාශ කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(iv) එම නීතිමය ක්‍රියාමාර්ගවල වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව දන්නේද;

(ii) එම තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) ගැසට් කර ඇති පුරාවිද්‍යා ස්මාරක විධිමත් ලෙස සංරක්ෂණය නොකරන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉදිරියේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට යෝජිත පුරාවිද්‍යා ස්මාරක සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් පුරාවිද්‍යා ස්මාරකයේ නම, පිහිටා ඇති පළාත, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් ‍වශයෙන් කවරේද;

(iii) එම පුරාවිද්‍යා ස්මාරක ගැසට් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1,467කි.

              (ii)      ඇමුණුම 01හි දක්වා ඇත.

             (iii)      ඔව්.

             (iv)      ඇමුණුම 02හි දක්වා ඇත.

 

(ආ)         (i)      විවිධ ජනමාධ්‍ය ඔස්සේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක විනාශවීම් පිළිබඳව ප්‍රචාරණයන් වැඩි වශයෙන් මේ දිනවල වාර්තා වේ. අතීතයේ පටන් ම පුරාවස්තූන්ට හානි සිදුව ඇත.

              (ii)      a.    පුරාවස්තු ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග සිදු කිරීම.

b. පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාසයක් පිහිටුවා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම.

c. පුරාවස්තු ආරක්ෂා කරගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජනතාව, රාජ්‍ය නිලධාරින්, පොලීසි, ත්‍රිවිධ හමුදා නිලධාරින්, පාසල් සිසුන් ආදීන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම.

d. ආඥා පනතේ නීති රීති සංශෝධනය කරමින් සුදුසු නීති රීතීන් යාවත්කාලීන කිරීමට ක්‍රියා කිරීම.

(iii) ගැසට් කර ඇති ස්මාරක සියල්ල සංරක්ෂණය කර නොමැත. සංරක්ෂණය කර ඇති සියලුම පුරාවිද්‍යා ස්මාරක විධිමත්ව හා විද්‍යානුකුලව සංරක්ෂණය කර ඇත.

(iv) පුරාවිද්‍යා ස්මාරක හා ස්ථාන විශාල ප්‍රමාණයක් රට තුළ විසිර පවතී. බොහොමයක් ස්මාරකයන් පසින් යටවී නටබුන්ව පවතී. ඒවා විද්‍යාත්මක කැණීම් මඟින් මතුකර පර්යේෂණ සිදු කළ යුතු අතර, ඒ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුය. එවැනි විද්‍යාත්මක කැණීම් පවත්නා නටබුන් ප්‍රමාණය අනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපකරණ මෙන්ම මූල්‍යමය පහසුකම් නොමැති බැවින් කැණීම් සිදු කිරීම අවම මට්ටමින් සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විද්‍යාත්මක නොවන කැණීමක් යනු සාධක විනාශ කිරීමක් ලෙස පුරාවිද්‍යාත්මකව සැලකේ. කැණීම් කළ පසු විධිමත්ව සංරක්ෂණය කළ යුතු වේ. යම් කලෙක නව තාක්ෂණික මෙවලම් උපයෝගි කොට ගෙන කැණීම් සිදු කරන තෙක් හැකි පමණ ආරක්ෂා කර ඉදිරි පරපුර වෙත බාර කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වේ.

(ඇ) (i) 61කි. (මෙම කාර්තුව සඳහා ප්‍රාදේශීය කාර්යාල මඟින් යොමුකර ඇති යෝජනාවන් අනුව)

(ii) ඇමුණුම  03හි දක්වා ඇත.

(iii) ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැක.

(ඈ) පුරාවිද්‍යා ස්මාරක ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ දී ආඥා පනත ප්‍රකාරව අනුගමනය කරනු ලබන ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් අනතුරුව කඩිනමින් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලබයි.

ඇමුණුම් 01, 02, 03 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks