01

E   |     |  

 දිනය: 2023-07-06   පිළිතුර ලබා දී ඇත 

3171/2023: කඩදාසි මිල ඉහළ යාම: පාලනය

3171/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,—  කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මුද්‍රණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන කඩදාසි ඇතුළු උපකරණවල මිල අධික ලෙස ඉහළ යාම, මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර අකර්මන්‍ය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්;

(ii) ඒ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි අහිතකර බලපෑමක් සිදු වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(ii) මේ වනවිට රජය සහ පෞද්ගලික අංශය විසින් මාසිකව නිෂ්පාදනය කරනු ලබන කඩදාසි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) කඩදාසි ආනයනය අවම කර මෙරට කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා  කර්මාන්තශාලා ආරම්භ කිරීමට කටයුතු කර තිබේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)   (i) , (ii)     

                        ඔව්. කඩදාසි ආශ්‍රිත ව්‍යාපාර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා බලපෑමක් සිදුවී ඇති බව පිළිගනිමි.    

(ආ)         (i)     

  • ශ්‍රී ලංකාව තුළ කඩදාසි නිපදවනු ලබන පෞද්ගලික අංශයේ ආයතන හතක් දේශීය වශයෙන් කඩදාසි නිපදවීමේ නියුක්තව ඇති අතර, සී/ස ජාතික කඩදාසි සමාගම යටතේ ක්‍රියාත්මක වන වාලච්චේන කඩදාසි කම්හල මඟින් පමණක් මුද්‍රණ කඩදාසි නිපදවනු ලැබේ.
  • වාලච්චේන කඩදාසි කම්හල මඟින් මාසිකව මෙට්‍රික් ටොන් 50-100 අතර ප්‍රමාණයක් (ඉල්ලුම අනුව) මුද්‍රණ කඩදාසි නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම නිෂ්පාදන කටයුතු සඳහා ඉවතලන කඩදාසි භාවිත කරනු ලබයි.
  • වාලච්චේන කඩදාසි කම්හල මඟින් නිෂ්පාදනය කරනු ලබන ඉහත සඳහන් මුද්‍රණ කඩදාසි භාවිත කරමින් පහත පරිදි අභ්‍යාස පොත් හා ලිපි ලේඛන මුද්‍රණය කර සාපේක්ෂව සහන මිලට වෙළෙඳ පොළට සපයනු ලබයි.

අභ්‍යාස පොත් හා ලිපි ලේඛන

මුද්‍රිත මිල (රු.)

වට්ටම් මිල/ තොග මිල (රු.)

පිටු 80

120.00

70.00

පිටු 120

180.00

125.00

පිටු 160

250.00

160.00

පිටු 80 CR

270.00

170.00

පිටු 120 CR

345.00

250.00

පිටු 160 CR

420.00

320.00

 

 

 

  • දැනට සී/ස ජාතික කඩදාසි සමාගම විසින් ඍජුවම පාරිභෝගිකයා වෙත ගොස් වට්ටම් මිලට පොත් පාරිභෝගිකයා වෙත සපයනු ලබයි.
  • තවද, සී/ස ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඩොලර් මිලියන 14.19ක ආයෝජනයකින් නැවත ආරම්භ කිරීම සඳහා ගිවිසුම 2022.03.09 දින අත්සන් තබා ඇත. ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු 2023 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත වේ. ඉන් අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 75,000කි.
  • තවද, දේශීය කඩදාසි නිෂ්පාදකයන් වෙත ලබා දිය හැකි පහසුකම්/සහන සහ කඩදාසි නිෂ්පාදනය සඳහා දේශීය ව්‍යවසායකයන් යොමු කරවීම පිළිබඳව අවධානය යොමු වී ඇත.

පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් 2023 මාර්තු මස සිට සී/ස ජාතික කඩදාසි සමාගම නිෂ්පාදනය කරයි. එමෙන්ම, මෙම අභ්‍යාස පොත් බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කිරීමට මූලික පියවර ගෙන ඇත.

(ii)    

අංශය

මාසිකව නිෂ්පාදනය කරන කඩදාසි ප්‍රමාණය (සියලු වර්ගවල)

පෞද්ගලික අංශය

මෙට්‍රික් ටොන් 7,000ක් පමණ

රාජ්‍ය අංශය

මෙට්‍රික් ටොන් 250ක් පමණ

 

 

 

 

මුද්‍රණ ක්ෂේත්‍රයට අවශ්‍ය කඩදාසි ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 250ක් පමණ මාසයකට සී/ස ජාතික කඩදාසි සමාගම විසින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. එයට අමතර වශයෙන් පෞද්ගලික කර්මාන්තශාලා හයක් මඟින් ඇසුරුම් - packaging - කර්මාන්තයට අවශ්‍ය කඩදාසි මසකට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.

(iii) කටයුතු කර ඇත.

 

  (iv) • ශ්‍රී ලංකාවට 2023 ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙට්‍රික් ටොන් 61,893ක පමණ ප්‍රමාණයක් සියලු වර්ගවල කඩදාසි ආනයනය කර ඇත. දේශීය වශයෙන් මුද්‍රණ කඩදාසි නිෂ්පාදනය කරනු ලබන කම්හල වාලච්චේනේ පිහිටි කඩදාසි කම්හල වන අතර, පෞද්ගලික අංශය විසින් ඇසුරුම් සඳහා භාවිත කරන කඩදාසි නිපදවීම මේ වන විට සිදු කරනු ලබයි.

• ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කඩදාසි ප්‍රමාණය අවම කිරීම සඳහා කඩදාසි නිෂ්පාදනය හා සම්බන්ධ කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන සී/ස ජාතික  කඩදාසි සමාගම හරහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇත.

•   ඒ අනුව සී/ස ජාතික කඩදාසි සමාගම යටතේ ක්‍රියාත්මක වන වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල් පිළිබඳ වර්තමාන තත්ත්වය පහත පරිදි වේ.

(ඒ) වාලච්චේන කඩදාසි කම්හල

• 2014 වර්ෂයේ දෙසැම්බර් මස සිට නිෂ්පාදන කටයුතු නතර කර වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හලෙහි නිෂ්පාදන 2020 ජූලි මස සිට සී/ස ජාතික කඩදාසි සමාගම විසින් නැවත ආරම්භ කර ඇත. දැනට මාසික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 250ක් පමණ වේ.

• වාලච්චේන කඩදාසි කම්හලෙහි දැනට සිදු කරන නිෂ්පාදන පහත පරිදි වේ.

  • මැනීලා කඩදාසි  - Manila Paper
  • ක්‍රාෆ්ට් කඩදාසි  - Craft Paper
  • සුදු කඩදාසි  - White Paper
  • මුද්‍රණ කඩදාසි - Printing Paper
  • ඔතන කඩදාසි - Wrapping Paper

• වාලච්චේන කඩදාසි කම්හලෙහි නිෂ්පාදනය කරන සුදු කඩදාසි යොදාගෙන අභ්‍යාස පොත් නිෂ්පාදනය කිරීම කඩදාසි සමාගම විසින් 2023 මාර්තු මාසයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව පිටු 80, පිටු 120, පිටු 160 අභ්‍යාස පොත්, පිටු 80, පිටු 120 CR පොත්, A4 කඩදාසි (සුදු සහ විවිධ වර්ණයන්ගෙන් යුතු), ෆුල්ස්කැප් කඩදාසි නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි.

 

(බී) ඇඹිලිපිටිය කඩදාසි කම්හල

• 2012 වර්ෂයේ සිට නිෂ්පාදන කටයුතු  සිදු නොකර වසා දමා ඇති ඇඹිලිපිටිය කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය - public-private partnership -  යටතේ නැවත ආරම්භ කිරීමට අංක  අමප/22/0254/320/010 හා 2022.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා  දී ඇත.

• ඒ අනුව සී/ස ජාතික කඩදාසි සමාගම හා ආයෝජක සමාගම වන KSPA Embilipitiya Paper Mills (Pvt.) Limited) විසින් ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන්  වසර 30ක ව්‍යාපෘති කාල සීමාවට අදාළ ගිවිසුම 2022.03.09 දින අත්සන් තබා ඇත.

• ව්‍යාපෘතියට අදාළව කම්හල් ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමේ කටයුතු විසන්ධි කර ඇති විදුලි සබඳතාව නැවත කඩදාසි කම්හල වෙත ලබා ගැනීමේ කටයුතු, කැලෑ එළිපෙහෙළි කර කම්හල් පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු, කම්හල වෙත ජලය සපයා ගැනීම සඳහා චන්ද්‍රිකා වැවේ සිට කම්හල් පරිශ්‍රය දක්වා ජලනල එළීම හා ජල පොම්පාගාරය සකස් කිරීමේ  කටයුතු ඇතුළු ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආයෝජක සමාගම විසින් මේ වන විට ආරම්භ  කර ඇති අතර,  ඒ අතරින් ඇතැම් කටයුතු  සැලකිය යුතු මට්ටමකින් අවසන් කර ඇත.

• තවද, එම කම්හලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමේ කටයුතු ආයෝජක සමාගම විසින් සිදු කරමින් පවතී.

• 2023 දෙසැම්බර් මස සිට කම්හලෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිත අතර අපේක්ෂිත වාර්ෂික කඩදාසි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 75,000 වේ. එසේම සිදු කිරීමට අපේක්ෂිත නිෂ්පාදන කඩදාසි වර්ගය කාර්මික ඇසුරුම් සඳහා භාවිත කරන කඩදාසි (Industrial Grade Papers) වේ.

පුවත්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි අපගේ paper ma chines අලුත්වැඩියා කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ඇති අතර,  ඒ සඳහා අවශ්‍ය සැලසුම් වාර්තා මුදල් අමාත්‍යාංශයට මේ වන විට භාර දී ඇත. එමෙන්ම සී/ස ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කම්හල මේ වන විට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ආරම්භ කිරීමට ක්‍රියා කර ඇත. තවද, වාලච්චේන කර්මාන්තශාලාව සතුව ඇති paper machines අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා දිනකට මෙට්‍රික් ටොන් 350ක ධාරිතාවකින් යුතු මුද්‍රණ කඩදාසි, බෝඩ් වර්ග නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සැලසුම් කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks