01

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3157/2024: බහුකාර්ය සංවර්ධන සහායකයින්: සේවයේ ස්ථිර කිරීම

3157/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන     කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට බඳවාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම රැකියාලාභීන් අනුයුක්ත කර ඇති ආයතන සහ තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම රැකියාලාභීන් අතරින් මේ වනවිට සේවයේ ස්ථිර කර ඇති රැකියාලාභීන් සංඛ්‍යාව කොපමණද;

  (iv) මේ වනවිට සේවයේ ස්ථිර කර නොමැති රැකියාලාභීන්, ස්ථිර කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;

(v) ඉහත රැකියාලාභීන් සඳහා උසස්වීම් ක්‍රමවේදයක් සහ සුභසාධන වැඩසටහනක් සකස් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      1.  බඳවාගත් බහුකාර්ය සහායකයින් ප්‍රමාණය - 38,375කි.

                        2.     2023.12.21 දිනට විවිධ හේතූන් මත ඉවත්ව ‍ගොස් ඇති/ඉවත් කර ඇති බහුකාර්ය සහායකයින් ප්‍රමාණය - 8,726කි.

                        3.     2023.12.21 දිනට මියගොස් ඇති බහුකාර්ය සහායකයින් ප්‍රමාණය 105කි.

4. 2023.12.21 දිනට සක්‍රිය බහුකාර්ය සහායකයින් ප්‍රමාණය 29,544කි.

(ii) ආයතන සංඛ්‍යාව 171කි. ආයතන ලැයිස්තුව ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

මෙම පුහුණුලාභීන් රජයේ ප්‍රාථමික සේවයේ PL 1, PL 2, PL 3 වැටුප් කාණ්ඩයන්හි තනතුරු සඳහා බඳවාගෙන ඇත.

(iii) 2023.12.21 දිනට ස්ථිර රැකියාලාභීන් ප්‍රමාණය 22,131කි. ඉන් 4,683ක් සම්මුඛ පරීක්ෂණය සඳහා අලි වැට ආරක්ෂක රාජකාරි සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නාම යෝජනා ලබා දී ඇත.

ගරු මන්ත්‍රීතුමනි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ ගොල්ලන්ට ස්ථිර පත්වීම් දෙනවා කියලා කැබිනට් මණ්ඩල අනුමැතියක් අරගෙන තිබෙනවා.

(iv) • දිස්ත්‍රික් ලේකම් කාර්යාල 14ක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 131ක් වෙත ප්‍රාථමික සේවයේ තවදුරටත් ඇති අවශ්‍යතාව සඳහා බහුකාර්ය සහායකයන් 890ක සංඛ්‍යාවක් අනුයුක්ත කිරීම.

• දිවයිනේ විශේෂයෙන්ම හඳුනාගත් ස්වභාවික ආපදා නිරන්තරයෙන් සිදු වෙමින් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 68ක් සඳහා බහුකාර්ය සහායකයන් 05දෙනා බැගින් 340දෙනෙකු අනුයුක්ත කිරීම.

• 2023.12.31 වැනි දිනට සියලු රජයේ ආයතනයන්ට බඳවාගෙන ඉතිරිව ඇති බහුකාර්ය සහායකයන් අතුරින් ජාතික වෘත්තිය සුදුසුකම් 3 සම්පූර්ණ මට්ටම සමත් සියලුදෙනාගෙන් 2023.12.19 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්, සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ආණ්ඩුකාරවරුන් විසින් පළ කරන ලද එකඟතාව අනුව ඒ ඒ පළාත් සභාව වෙත 1,933 දෙනෙකු දැනටමත් පවතින පුරප්පාඩුවලට අනුයුක්ත කිරීම.

• එසේ පුරප්පාඩු නොමැති නම්, ඔවුන්ට පෞද්ගලික වන සේ ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීම් ලබා දී ඉදිරියේ දී ඇති වන පුරප්පාඩුවලට අනුයුක්ත කිරීම.

ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ලබන සඳුදා කැබිනට් මණ්ඩලය ඒක ගන්නවා. 

(v) අදාළ බහුකාර්ය සහායකයන් අනුයුක්ත කරනු ලබන ආයතනයේ පවතින උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ උසස්වීම් තීරණය කිරීම එම ආයතනය මඟින් සිදු කළ යුතු අතර, එම ආයතනයේ දැනට ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් සඳහා ඇතුළත් කිරීම එකී ආයතනයන්හි වගකීමකි.

(ආ) ඉහතින් පිළිතුරු සපයා ඇත.

 

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks