01

E   |     |  

 දිනය: 2023-07-20   පිළිතුර ලබා දී ඇත 

3077/2023: දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන: නවීකරණය

3077/2023

ගරු අශෝක් අබේසිංහ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ පවතින දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       දුම්රිය ස්ථාන නවීකරණය කර මහජනතාවට ප්‍රියමනාප ස්ථාන බවට පත්කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) දුම්රිය සේවයේ සහ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-20

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රධාන දුම්රිය ස්ථාන - 168යි.

                        උප දුම්රිය ස්ථාන - 147යි.

                        දුම්රිය නැවතුම්පොළ - 69යි.

 

              (ii)      දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය ස්ථාන නවීකරණයට හා මගී පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන අතර, මේ යටතේ අනුරාධපුර සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය 2023.07.15 දින මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විවෘත කළ අතර, දුම්රිය ස්ථාන නවීකරණය කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව දුම්රිය ස්ථානවල නවීකරණ හා අලංකරණ කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අනුග්‍රහය ලබා ගැනේ.

ඔබතුමන්ලාගේ කාලය තුළත් ඊට පසුවත් සමහර දුම්රිය ස්ථාන නවීකරණය පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් සිදු කර තිබෙනවා.

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය, ජෝන් කීල්ස් ආයතනය විසින් නඩත්තු කිරීම හා අලංකරණය කිරීම කරනවා. කැලණිය දුම්රිය ස්ථානය බවර් ආයතනය විසින් නඩත්තු කිරීම හා අලංකරණය කිරීම කරනවා. රාගම, මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, නාවලපිටිය, වවුනියාව දුම්රිය ස්ථාන රයි‍නෝ ආයතනය විසින් පින්තාරු කරනවා. 2015 සිට දෙමටගොඩ දුම්රිය ස්ථානය තන්ත්‍රී ආයතනය විසින් පින්තාරු කරනවා. 2021 සිට හික්කඩුව දුම්රිය නැවතුම්පොළ හෝටල් මඟින් පින්තාරු කරනවා, වැසිකිළි නවීකරණය කර තිබෙනවා. යාපනය දුම්රිය ස්ථානය ලංකා බැංකුව විසින් සංවර්ධනය කරනවා.

ඒ අතර මම පසුගිය කාලය තුළදී භාෂා තුනෙන්ම ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරලා, අභිප්‍රාය කැඳවනු ලැබුවා, ලංකාවේ දුම්රිය ස්ථාන සහ දුම්රියට අයිති ඉඩම් යනාදිය වඩා ඵලදායී ලෙස කාර්යක්ෂමව යොදාගන්න පුළුවන් දේශීය හෝ විදේශීය ආයෝජකයෝ සිටිනවා නම් කෘෂිකර්මාන්තය සඳහා, සංචාරක හෝටල් සඳහා, වෙනත් නවීකරණ ව්‍යාපෘති සඳහා කැමැති ඕනෑම කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා. ඒ සඳහා අපි කමිටුවක් පත් කළා. ඒ කමිටුව විසින් යෝජනා භාර ගෙන, ඒවා ඇගැයීම් කරලා ඊට පසුව අපි ඒ සෑම යෝජනාවක්ම තෝරා ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා Evaluation Committee එකක් පත් කරලා, ඒක මඟින් ඒවා තක්සේරු කරලා ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගයෙන් දුම්රිය වත්කම් වඩා හිතකර ආකාරයෙන්, රජයට වැඩි ආදායමක් ලැබෙන ආකාරයෙන් නවීකරණය කරන්න ව්‍යාපෘතියක් සකසා තිබෙනවා. ඔබතුමන්ලාත් ඊට සහයෝගය දීලා, දන්න ආයෝජකයෝ ඉන්නවා නම් මේ සඳහා ආයෝජනය කරන්න ගෙන්වා ගන්න. ඒක රටට වාසියි. අපි ඒ කටයුත්ත කරමු. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහාත්, දුම්රිය සේවය අලාභ විඳීම නවතා ගැනීම සඳහාත් මෙය වැදගත්.

 

(iii) මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගැයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා දුම්රිය ස්ථාන සක්‍රීයව සම්බන්ධ කර  ගැනේ.

    දුම්රිය සේවයේ  නව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

      දුම්රිය ස්ථාන ආසන්නයේ පවත්නා ඉඩම් හා අනෙකුත් වත්කම් දුම්රිය ස්ථාන මඟින් කළමනාකරණය කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති අතර එයින් ලැබෙන ආදායමෙන්   

      යම් ප්‍රතිශතයක් දුම්රිය ස්ථාන නඩත්තුව සඳහා යොදා ගැනීමට යෝජිතය.

ඊළඟට, අනවසර පදිංචි කිරීම්, බලපත්‍ර රහිතව සිටීම යනාදිය තිබෙනවා. දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් එහා පැත්තටයි, මෙහා පැත්තටයි බලා ගැනීමේ වගකීම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පවරා, බදු එකතු කිරීමේ අයිතිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලබා දෙන ලෙසත්, එකතු කරන බදු ආදායමෙන් සියයට 5ක් දිරිගැන්වීමේ දීමනාවක් වශයෙන් ඔවුන්ට ගෙවන ලෙසත් මම උපදෙස් දී තිබෙනවා.

ඒ වැඩ පිළිවෙළ හැදීම ටිකක් පමා වෙනවා. ඔබතුමා දන්නවා මේක දෙපාර්තමේන්තුවක් බව. දෙපාර්ත‍මේන්තුවක් වශයෙන් තබාගෙන වාණිජ තීන්දු තීරණ ගැනීම ඉතා අසීරු නිසා ඒ අය එකඟ වෙලා තිබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන්න. තනි සාමාන්‍යාධිකාරිවරයෙකුට තිබෙන බලය වෙනුවට ලංකා බැංකුවේ, මහජන බැංකුවේ වාගේ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමයක් ඇති කරලා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරලා එය කාර්යක්ෂම, ලාභ ලබන, පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කරන තැනක් බවට පත් කරන්න මම කටයුතු කරනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks