පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2327/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2000 සිට 2011 දක්වා කාල සීමාව තුළ රු. 900 හා රු. 1500 ලෙස සහනාධාර ලැබූ සමෘද්ධිලාභීන්ගෙන් සමෘද්ධි බැංකු හරහා වාර්ෂිකව අයකර ගෙන ඇති අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් ප්‍රමාණයන්;
(ii) අනිවාර්ය ඉතිරිකිරීම් අයකර ගත් එම සමෘද්ධිලාභීන් අතරින් මේ වන විට සමෘද්ධි දීමනාව කපා හැර ඇති සංඛ්‍යාව;
(iii) එසේ සමෘද්ධිය කපා හැරි සමෘද්ධිලාභීන් අතරින් මේ වන විට අනිවාර්ය ඉතිරිකිරීම් ආපසු ලබාගෙන ඇති සංඛ්‍යාව;
(iv) එසේ ගෙවන ලද මුළු මුදල;
(v) මේ වනවිට සමෘද්ධිය අහිමිකළ සමෘද්ධිලාභීන් අතරින් අනිවාර්ය ඉතිරිකිරීම් ආපසු ගෙවීමට ඇති පවුල් සංඛ්‍යාව;
කොපමණද යන්න දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සමෘද්ධි වැඩසටහනින් ඉවත්වූ සමෘද්ධිලාභීන්‍ගේ අනිවාර්ය ඉතිරිකිරීම් ආපසු ගෙවා අවසන් කිරීමට ගතවන කාලය කොපමණද;
(ii) දැනට මියගොස් ඇති සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් ගෙවීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Lakshman Yapa Abeywardena - Deputy Minister of Economic Development)
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) වර්ෂ 2000 සිට 2011 දක්වා රුපියල් 900 හා රුපියල් 1,500 ලෙස සහනාධාර ලැබූ සමෘද්ධිලාභීන්ගෙන් සමෘද්ධි බැංකු හරහා වාර්ෂිකව අය කර ගෙන ඇති අනිවාර්යය ඉතිරි කිරීම් 2006 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා රුපියල් මිලියන තුන්සිය හතළිස්හයයි දශම හතරයි තුනකි. (රුපියල් මිලියන 346.43කි.)
සමෘද්ධිලාභින්ගෙන් සමෘද්ධි බැංකු හරහා වාර්ෂිකව අය කරන අනිවාර්යය ඉතිරි කිරීම් 2006 වර්ෂයේ සිට ආරම්භ කරන ලදී.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයේ (ii), (iii), (iv) සහ (v) කොටස් සඳහා පිළිතුරු වශයෙන් විශාල ලේඛනයක් තිබෙනවා. මේ සමෘද්ධිලාභින්ගේ අනිවාර්යය ඉතිරි කිරීම් කිව්වාම, ඒ විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා ගත යුතු විශාල ලේඛනයක්. මොකද, පහළොස් ලක්ෂයක් වන සමෘද්ධිලාභින්ගෙන් හැම සමෘද්ධිලාභියාටම අනිවාර්යය ඉතිරි කිරීම් තිබෙනවා. ඒ ලේඛනය සම්පූර්ණයෙන්ම මේ ගරු සභාවේ කියවන්න ගියොත් විශාල කාල වේලාවක් ගත වෙනවා. ඒක කරන්න අමාරුයි. එම නිසා ප්‍රශ්නයේ (ii), (iii), (iv) සහ (v) කොටස් සඳහා පිළිතුරු ඕනෑම මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගන්න පුළුවන්. අවුරුදු 10ක පමණ කාලයක තොරතුරු රැස් කිරීම සඳහා දීර්ඝ කාලයක් සහ විශාල වියදමක් දැරීමට අපට සිදු වනවා. ඒ වාගේම අමතර සේවක පිරිසක්ද අපට යොදවන්න සිදු වනවා ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා ඒක දන්නවා ඇති.
හැම සමෘද්ධිලාභියකුම මේ අනිවාර්යය ඉතිරි කිරීම් කරනවා. ඒ පිළිබඳ ලේඛනයක් තිබෙනවා. සාමාන්‍යයෙන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අඩුම වශයෙන් 3,000කට වැඩි පිරිසක සමෘද්ධිලාභින් සිටිනවා. ඒ අයගේ අනිවාර්යය ඉතිරි කිරීම් පිළිබඳ විස්තර අපි නැවත සම්පූර්ණයෙන් ලේඛනගත කළ යුතුයි. නිලධාරින් යොදවා එසේ ලේඛන ගත කරන්නටත් මාස 06ක, අවුරුද්දක විතර කාලයක් ගත වෙනවා. මේ කාරණය මන්ත්‍රීතුමා තේරුම් ගනියි කියලා මා හිතනවා. ඒ නිසා අපි ඒ තොරතුරු අරගෙන ඔබතුමාට පසුව එවන්නම්.
(ආ) (i) සමෘද්ධිලාභින්ගේ අනිවාර්යය ඉතිරි කිරීම් ආපසු ගෙවනු ලබන්නේ වයස අවුරුදු 70 ඉක්ම වූ පසුව ය. අනන්‍යතාව තහවුරු කර ඉල්ලීම ඉදිරිපත් කළ විගස එම මුදල් ලබා ගත හැකිය.
ගරු කථානායකතුමනි, අනිවාර්ය ඉතිරි කිරීම් ආපසු ගෙවන ක්‍රම දෙකක් තිබෙනවා. වයස අවුරුදු 70 පැන්නාම අනිවාර්ය ඉතිරි කිරීම් කොහොමත් ගෙවන්න ඕනෑ.ඒක එකක්. සමෘද්ධිලාභියකුඒ වයස් සීමාවට කලින්, ඔහුගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු, වෙනත් විශේෂ වූ කාර්යයක්, විශේෂ ලෙඩක් සෑදීම වැනි කාරණයකදී මේ මුදල ඉල්ලුම් කරන්නේ නම්, ''එය සාධාරණ හේතුවක්, ඔහුට වෙනත් ආදායම් මාර්ගයක් නැහැ, ඒ නිසා අනිවාර්යය ඉතිරි කිරීම්වලින් ගෙවිය යුතුයි'' කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට හැඟෙනවා නම්, ඒ ඒ මුදල ගෙවීමට අපේ නිර්දේශය දීලා තිබෙනවා. ඒක දෙවැන්න. ඒ ගෙවීම කිරීමේදී කිසිම සමෘද්ධිලාභියකුගේ සමෘද්ධි දීමනාව කපා හැරීමක් සිදු වෙලා නැහැ.
මේ ප්‍රශ්නයේ වැරැදි අර්ථ කථනයක් තිබෙනවා, ''සමෘද්ධිය කපා හැරි සමෘද්ධිලාභීන්'' කියලා. නමුත් සමෘද්ධි සහනාධාරය කැපෙන්නේ නැහැ. සමෘද්ධි සහනාධාරය කැපෙන්නේ, රජයේ රැකියාවකට ගියාම හෝ, ඔහුගේ ආදායම් මාර්ගය සම්පූර්ණ වුණාම හෝ විතරයි. අදාළ පුද්ගලයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කළොත් අනිවාර්යය ඉතිරි කිරීම ලබා දෙන්න පුළුවන්. දරුවකුගේ අධ්‍යාපන කටයුතු, හදිසියේ රෝගාතුර වීම වාගේම තවත් විශේෂ වූ කාරණා කීපයක් ඒකට තිබෙනවා. ඒ කාරණාවලට අනුව අනිවාර්ය ඉතිරි කිරීම් ලබා දෙන්න පුළුවන්.
(ii) මිය ගිය පුද්ගලයන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමේ අයිතිය පවරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks