01

E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

2972/2023: අනාරක්ෂිත ලෙස මාර්ග ධාවන තරගවලට සහභාගි වන පාසල් සිසුන්: ආරක්ෂාව සැලසීම

2972/2023

ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අනාරක්ෂිත අයුරින් පාසල් සිසුන් මාර්ග ධාවන තරඟවලට සහභාගී කරවනු ලබන බව දන්නේද;

             (ii)       දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී ප්‍රධාන නගර ආශ්‍රිතව එවැනි මාර්ග ධාවන තරඟ පැවැත්වීමට පාසල් වෙත අවසර ලබා  දී තිබේද;

(iii) එසේ නම්,  එම අවසර ලබා ගනු ලබන පාසල්/ආයතන විසින් මාර්ග ධාවන තරඟවලට සහභාගී වන සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iv) ප්‍රධාන නගරවලින් ඈත්ව රථවාහන තදබදය අඩු මාර්ග පමණක් භාවිතා කර මාර්ග  ධාවන තරඟ පැවැත්වීම සුදුසු  බව පිළිගන්නේද;

(v) එසේ නම්,  ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් පාසල් වෙත නිකුත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පාසල් සිසුන්හට වාර්ෂිකව පවත්වනු ලබන නිවාසාන්තර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග අතර මාර්ග ධාවන තරගය ඇතුළත්ව ඇත. විදුහල් මඟින් සංවිධානය කරනු ලබන තරග අතර මාර්ග ධාවන තරග ද සංවිධානය කරනු ලබන්නේ පාසල් ක්‍රීඩා කමිටුව මඟිනි. මෙම තරගය  ආරක්ෂිත අන්දමට පැවැත්වීමට සියලු පාසල් වගකීමෙන් කටයුතු කරන අතර මේ සඳහා පෙර  සැලැස්මක් සකස් කරනු ලබයි. එමෙන්ම කලාප කාර්යාල දැනුවත් කරන අතර රථවාහන පොලීසියේ සහාය මේ සඳහා අනිවාර්යයෙන්ම ලබා ගනියි. බොහෝ පාසල්වල මාර්ග ධාවන තරග උදෑසන පවත්වන අතර දුර ප්‍රමාණය කිලෝමීටර 10ක් හෝ ඊට අඩු දුරක් (අර්ධ මැරතන් ධාවන තරග ලෙස) තරගය සඳහා යොදා ගැනේ.

මේ සඳහා පාසලේ ක්‍රීඩා ගුරු භවතුන්, අවට පාසල්වල ක්‍රීඩා ගුරු භවතුන් හා ක්‍රීඩා නිලධාරින් විනිශ්චය කටයුතු සඳහා සහභාගී කරවා ගනියි. ඒ අනුව උක්ත නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙන්ම පාසලේ සංවර්ධන කමිටුව හා දෙමව්පියන්ගේ සහයෝගය ද ලබාගෙන ඉතා ආරක්ෂිතව මෙම තරග පවත්වනු ලබයි. තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නිවේදනය කරමින් මාර්ගයේ ඉඩ සලසා ගන්නා අතර රථවාහන අංශයේ පොලිස් යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කරමින් රථවාහන ඉවත් කරමින් තරගය සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙයි.

(ii) දැඩි රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී ප්‍රධාන නගර ආශ්‍රිතව එවැනි මාර්ග ධාවන තරග පැවැත්වීමට පාසල් වෙත අවසර ලබා දී නැත.

(iii) තරගයට සහභාගි වන සිසුන්ගේ ආරක්ෂාව පිණිස ප්‍රදේශයේ පොලීසියේ සහාය මේ සඳහා ලබා ගනියි. රථවාහන පොලීසියේ යතුරුපැදි මේ සඳහා අනිවාර්යයෙන් යොදා ගනියි.

සිසුන්ට අවශ්‍ය වෛද්‍ය සහාය ප්‍රදේශයේ රෝහලින් ලබා ගන්නා අතර වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ සහාය මේ සඳහා ලබා ගනියි.

මීට අමතරව, ශාන්ත ජෝන් ගිලන් හමුදාව, බාලදක්ෂ සහාය, ස්වේච්ඡා ආයතනවල සහාය ද ලබා ගනියි.

(iv) රථවාහන තදබදය අඩු මාර්ග භාවිත කර මාර්ග ධාවන තරග පැවැත්වීම සුදුසු බව පිළිගනී.

(v) ක්‍රීඩා තරග පැවැත්වීම පිළිබඳව සෑම වර්ෂයක් මුලදීම පාසල් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කරන අතර එම කරුණු ඇතුළත් කර (2024 වර්ෂය සඳහා) චක්‍රලේඛය නිකුත් කළ හැකි බව මෙම සභාවට දැනුම් දෙමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks