01

E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

2576/2023: මීයන් පාලනය: රසායනික විෂ ද්‍රව්‍ය භාවිතය

2576/2023

 ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගෘහාශ්‍රිත සහ වගාවන්ට හානිකරනු ලබන මීයන් වඳ කිරීම සඳහා රසායනික විෂ ද්‍රව්‍ය භාවිතා කරනු ලබන බව දන්නේද;

             (ii)       එම රසායනික විෂ ද්‍රව්‍යවල සංයුතිය තීරණය කරනු ලබන ආයතනය කවරේද;

(iii) රසායනික විෂ ද්‍රව්‍ය ශරීර ගතවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන මීයන් අනුභව කිරීමෙන් ශ්‍රී ලංකාවට ආවේණික සතුන්ද ජීවිතක්ෂයට පත් වන  බව දන්නේද;

(iv) එසේ නම්, මී උවදුර මර්දනය කිරීම සඳහා ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

                        රසායනික මී නාශක ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් යටතේ භාවිත වේ. එනම්,

1.         එක් මාත්‍රාවකින් ක්ෂණික විෂ ඇති කරන - acute

2.         මාත්‍රා කිහිපයකින් කල්ගත වී විෂ ඇති කරන - chronic-repeated dose

3.         එක් මාත්‍රාවකින් කල්ගත වී විෂ ඇති කරන - chronic-acute dose

(ii) w නිෂ්පාදන ආයතන මඟින් විවිධ සංයුතීන්වලින් යුත් මී නාශක නිෂ්පාදනය කරනු ලබයි.

w අනෙකුත් පළිබෝධ නාශක මෙන්ම මී නාශක ලියාපදිංචි කරනු ලබන්නේද 1980 අං 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතට යටත්ව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟිනි.

w ලියාපදිංචිය සඳහා අදාළ භෞතික / රසායනික දත්ත, විෂ විද්‍යාත්මක දත්ත සහ අනෙකුත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ක්ෂේත්‍රගත පර්යේෂණ සිදු කර සඵලතාව පරීක්ෂා කර මී නාශක ලියාපදිංචි කරනු ලැබේ.

 

(iii) w මීයන්ව ආහාරයට ගනු ලන්නේ විලෝපික සතුන් මඟිනි.

w විශේෂඥයන්ගේ අදහස්වලට අනුව විලෝපිකයින් විසින් මිය ගිය මීයන් අනුභව නොකරයි.

w මී නාශක නිසා ශ්‍රී ලංකාවට ආවේණික සතුන් ජීවිතක්ෂයට පත් වන බවට වාර්තා ලැබී නැත.

w කෙසේ වුවද, මී නාශක මඟින් සිදු විය හැකි අතුරු අනතුරු, විශේෂයෙන්ම ඉලක්ක නොකරන ගෘහාශ්‍රිත සතුන්ගේ සහ වන සත්ත්වයින්ගේ (සහ මිනිසුන්ගේ) ආහාරයට ගැනීම වැළැක්වීම සඳහා මී නාශක සංයෝජන සඳහා අධික තිත්තකාරක රසායන ද්‍රව්‍ය (උදා: ඩෙනටෝනියම් බෙන්සොඒට් සියයට 0.001ක්) සහ ගන්ධකාරක ඇතුළත් කර ඇත.

w මීයන් මර්දනය කිරීම සඳහා ස්ථානීය සනීපාරක්ෂාව පවත්වා ගන්නා අතරතුර රසායනික මී නාශක භාවිත කිරීම ලෝකයේ ප්‍රචලිත ක්‍රමවේදයයි.

w මී නාශකවල සඵලත්වය පරීක්ෂා කිරීමේදී අදාළ පර්යේෂණ ආයතන මඟින් මානව හා පාරිසරික ආරක්ෂාව සැලකිල්ලට ලක් කරයි.

w ඒ අනුව මී නාශක විවෘත පරිසරවල නොතබන අතර, උණ බම්බු හෝ ලෑලිවලින් වටකර ගත් කුහරයක් තුළ තැබීමෙන් මීයන්ට පමණක් ඒ තුළට ඇතුළු වීමට හැකි ලෙස භාවිතය නිර්දේශ කරයි. තවද, මී නාශක තැබීම සඳහා විශේෂිත ප්ලාස්ටික උගුල් ඇටවුම්ද වෙළෙඳ පොළේ අලෙවි කිරීමට උපදෙස් ලබා දී ඇත.

w මී නාශක ලේබලවල මියගිය මීයන් ආරක්ෂිතව වළලා දැමීමට උපදෙස් නිකුත් කර ඇත.

w මීයන් මර්දනය සඳහා සුදුසු විවිධ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලේගොඩ වී පර්යේෂණායතනය සහ පැළෑටි සංරක්ෂණ සේවය මඟින් නිර්දේශ ලබා ගැනීම පූර්ව ලියාපදිංචි අවශ්‍යතාවක් වශයෙන් සැලකිල්ලට ගැනේ. ඒ අනුව භෞතික, රසායනික ක්‍රම සමෝධානිකව යොදා ගැනීමේ අවශ්‍යතාව ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් මඟින් ගොවීන් සහ මහජනතාව දැනුවත් කෙරේ.

w ආයතනික මී මර්දන වැඩසටහන් සිදු කිරීම සඳහා බොහෝ අවස්ථාවලදී බලපත්‍රලාභී පළිබෝධ පාලන ආයතන විසින් සිදු කරන වැඩසටහන්වලදී නිර්දේශිත පූර්ව සහ පශ්චාත් ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීම සිදු වන බැවින් අතුරු අනතුරු, විශේෂයෙන්ම ඉලක්ක නොකරන ගෘහාශ්‍රිත සතුන්ගේ සහ වන සත්ත්වයින්ගේ (සහ මිනිසුන්ගේ) ආහාරයට ගැනීම වැළැක්වීම සාර්ථකව සිදු වේ.

 

(iv) w මීයන් මර්දනය සඳහා සුදුසු විවිධ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලේගොඩ වී පර්යේෂණායතනය සහ පැළෑටි සංරක්ෂණ සේවය මඟින් භෞතික, රසායනික ක්ම සමෝධානිකව යොදා ගැනීමේ අවශ්‍යතාව ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් මඟින් ගොවීන් සහ මහජනතාව දැනුවත් කෙරේ. විශේෂයෙන්ම වගා ක්ෂේත්‍ර සඳහා කුරුල්ලන් හා උරගයින් වැනි මීයන්ගේ විලෝපික සතුන් ආකර්ෂණය කිරීම සඳහා ඇටවුම් තැබීම මේ අතර වේ.

w ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන් අතර සැල්මොනෙල්ලා (Salmonella enterica serotype Enteritidis) වැනි රෝග කාරක බැක්ටීරියා භාවිතය කියුබාව වැනි සමහර රටවල සිදු වුවද, එම බැක්ටීරියා මඟින් මිනිසාට රෝග කාරක මාදිලි ඇති වීමේ ඇති හැකියාව මත ලියාපදිංචි කිරීමේ ඉල්ලීම් පසුගිය කාලයේදී අනුමත නොකරන ලදී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks