01

E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1632/2023: උඩරට දුම්රිය මාර්ගය: නාය යෑම් නිසා සිදුවන අවහිරතා

1632/2023

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නාය යෑම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට  නිරන්තරයෙන් බාධා සිදු වන බවත්;

             (ii)      එමඟින් ඇති වන ප්‍රමාද වීම් හේතුවෙන් විදේශීය සංචාරකයන් හා දේශීය මගීන් යන දෙපාර්ශ්වයම අපහසුතාවයට පත්වන බවත්;

(iii) එම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද හමුදා භටයන් සහ දුම්රිය සේවකයන් යොදා ගැනීම කාර්යක්ෂම නොවන බවත්;

(iv) ලෝකයේ වෙනත් රටවල නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙවැනි කාර්යයන් සිදු කරනු ලබන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරින්ගේ දැනුම උපයෝගී කර ගනිමින් දුම්රිය මාර්ගවල පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට පියවර ගන්නේද;

 

  (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වන නාය යෑම් නිසා දුම්රිය ධාවනයට වරින් වර බාධා ඇති වේ.

              (ii)       හදිසි ආපදා තත්ත්ව යටතේ ඇති වන ප්‍රමාද  නිසා පීඩාවට පත් වන මගීන් සඳහා කඩිනම් සහන සැලසීමට පියවර ගැනේ.

             (iii)       හදිසි ආපදා අවස්ථාවලදී දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ආපදා කළමනාකරණ ඒකකය, ත්‍රිවිධ හමුදාව හා දුම්රිය කාර්ය මණ්ඩලය එක්ව කාර්යක්ෂම සේවාවක් ලබා දෙයි.

(iv)  ඔව්. ආසියානු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ බැංකුව (AIDB) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව බදුල්ල හා රඹුක්කන අතර හඳුනා ගත් ස්ථාන විසි දෙකක (22) නාය යෑමේ අවදානම අවම කිරීමට කටයුතු කෙරේ.

(ආ) (i)  ඒ සම්බන්ධව ඉදිරියේදී සලකා බැලිය යුතුය. එවැනි පියවර ගනු ලබනවා.

එකී තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ගන්නා උත්සාහයක් විධියට ඉකුත් සතියේ රුසියාවේ මේ හා සම්බන්ධිත විශ්වවිද්‍යාල දෙකක් සමඟ අවබෝධතා ගිවිසුම් ද මම අත්සන් කර තිබෙනවා.

(ii)  ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මහා මාර්ගයේ හා දුම්රිය මාර්ගයේ ගමන් කළ හැකි බැකෝ යන්ත්‍ර (Railroad loaders) පහක් (05) ලබා ගැනීමට කටයුතු කෙරේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබුණු වහාම ඒ යන්ත්‍ර ලබා ගැනීමේ කටයුත්ත කරනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks