04

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1625/2024: 2015-2020 දක්වා පාරි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කළ පැමිණිලි: විස්තර

1625/2023

ගරු තිස්ස අත්තනායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2015 සිට 2020 දක්වා කාලය තුළදී පාරි‍භෝගික කටයුතු පිළිබඳ   අධිකාරියේ නීති අංශයේ ලියාපදිංචි කරන ලද පැමිණිලි 1556ක් අතරින් 2020 දෙසැම්බර් මස 31 දින වනවිට විසඳුම් ලබා දී තිබූ පැමිණිලි සංඛ්‍යාව;            විමර්ශන කටයුතු අවසන් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව; ඉවත්කර ගන්නා ලද පැමිණිලි සංඛ්‍යාව  සහ කැඳවීම් කිරීමට නියමිතව ඇති පැමිණිලි සංඛ්‍යාව එක් එක්  වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඒ සඳහා විසඳුම් ලබා දීමට නොහැකි වීමට හේතු කවරේද;

(iii) අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කර විසඳුම් ලබා දීම සඳහා දීර්ඝ කාලයක් ගතවීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         වර්ෂ 2015 සිට 2020 දක්වා කාලය තුළදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නීති අංශයේ ලියාපදිංචි කරන ලද පැමිණිලි 1,556ක් අතරින් 2020 දෙසැම්බර් 31 වන විට විසඳුම් ලබා දී තිබූ පැමිණිලි සංඛ්‍යාව 524ක්ද, විමර්ශන කටයුතු අවසන් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව 73ක්ද, නිෂ්ප්‍රභ කරන ලද පැමිණිලි සංඛ්‍යාව 166ක්ද, කැඳවීමට නියමිත පැමිණිලි සංඛ්‍යාව 456ක්ද වන අතර, එක් එක් වර්ෂය අනුව තොරතුරු ඇමුණුමෙහි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.

 

ගරු මන්ත්‍රීතුමනි, අවුරුද්දෙන් අවුරුද්දට අදාළ එම සංඛ්‍යා මම ඔබතුමාට වෙනම ලබා දෙන්නම්.

 

(ii) 2015 - 2018 වර්ෂයන්ට අදාළ කාල පරිච්ඡේදය තුළ පරීක්ෂණ කටයුතු කඩිනම් කර ගැනීම සඳහා පරීක්ෂණ වාරයන් පැවැත්වීමට නියමිතව තිබුණද, පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නොමැති වීම මත පරීක්ෂණ වාර 181ක් අවලංගු කරලීමට සිදු වී ඇති බව වාර්තා කර ඇත.

2019 - 2020 කාල පරිච්ඡේදය තුළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී ගෝලීය කොවිඩ්-19 වසංගතය පැතිරීම හේතුවෙන් ප්‍රමාදවීම සිදු විය.

(iii) 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ සිදු කරනු ලබන සහන පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය වෙනස් කරමින් වඩා ඉක්මනින් පාරිභෝගිකයා වෙත සහන සැලසීමේ අරමුණින්, අධ්‍යක්ෂ මණ්ඩලයේද අනුමැතිය සහිතව දිස්ත්‍රික් මට්ටමින් පාරිභෝගික සහන අපේක්ෂිත පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යෑම සදහා මවිසින් “පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලි සඳහා පවත්වනු ලබන පරීක්ෂණ විධිමත් කිරීම” මැයෙන් 2023.09.14 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහන සඳහා අංක අමප23/1771/627/022 හා 2023.10.10 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයේ දැක්වෙන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය අතිගරු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණය පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි විමධ්‍යගත කර විමර්ශනය කිරීමේ ක්‍රියාවලියේ නීත්‍යනුකූලභාවය පිළිබඳ නීතිපති මතය ලබා ගැනීමෙන් පසුව එම නීතිපති මතය අනුව ක්‍රියාත්මක වෙමින් දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලදී.

‍ ඒ අනුව සහකාර දිස්ත්‍රික් ලේකම්, මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (පළාත්)ගෙන් සමන්විත කමිටුවක් පත් කර, අදාළ දිස්ත්‍රික්කවල පරීක්ෂණ සඳහා මාර්ගෝපදේශය යටතේ පාරිභෝගික සහන පැමිණිලි කඩිනමින් විසඳීම සඳහා කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පාරිභෝගිකයා කොළඹට නොපැමිණීම මඟින් කාලය හා මුදල ඉතිරි කර එම කටයුතු කාර්යක්ෂමව ඉටු කර ගැනීම මෙමඟින් බලාපොරොත්තු වෙනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks