01

E   |     |  

 දිනය: 2012-08-24   පිළිතුර ලබා දී ඇත 

2183/2012: හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත : දුර්වලතා

2183/’11

 

ගරු රවී කරුණානායක මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් හිමිකම් අංශය විසින් දැනට පවතින හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ ඇති දුර්වලතා රාශියක් සොයාගෙන ඇති බවත්;

(ii) ඉහත කී පනත සංශෝධනය කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ද නිර්දේශ කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?        

(ආ) ඉහත (අ) (i) සහ (ii) අනුව හිමිකම් ලියාපදිංචි කිරී‍මේ පනත සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති දුර්වලතා සහ යෝජිත සංශෝධන කවරේද යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?

(ඇ) පාර්ලිමේන්තුව මගින් එම සංශෝධන සඳහා මේ වනවිට අනුගමනය කරමින් පවතින ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) දුර්වලතා රාශියක් පැවතියද, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය විසින් 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත දැඩිව ක්‍රියාත්මක කරමින් සිටින බවත්;

(ii) අදාළ අමාත්‍යාංශය විසින්, එම හඳුනාගත් දුර්වලතා වෙනස් නොකර, ඉහත කී පනතට නව වගන්ති 105ක් ඇතුළු කිරීමට උත්සාහ දරමින් සිටින බවත්;

එතුමා පිළිගන්නෙහිද?        

(ඉ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-24

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜனக பண்டார தென்னகோன் - காணி, காணி அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Janaka Bandara Tennakoon - Minister of Lands and Land Development)

ගරු නි‍යෝජ්‍ය කථානායකතුමනි, දීර්ඝ පිළිතුරක් තිබෙන නිසා මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      හිමිකම් ලියාපදිංචි කිරී‍මේ පනතේ සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.

(ii) එම සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡා කර ඔවුන් දැනුවත් කර ඇත.

(ආ) 1. හිමිකම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා සතු බලතල අවශ්‍ය පරිදි ඔහුගේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් වෙත පැවරීම.

2. හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යයන් සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවීම. (දැනට ප්‍රතිපාදන ඇත්තේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් තනතුර සඳහා පමණි. ඔහුගේ කාර්යයන් සඳහා අවශ්‍ය ආයතනයකට ප්‍රතිපාදන නොමැති නිසා)

3. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම සඳහා විශේෂ ඉඩම් විනිශ්චය සභාවක් පිහිටුවීම. (ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟත්වය ලැබී ඇත.)

4. ඉඩම් කට්ටි ඒකාබද්ධ කිරීම සහ කොටස් කිරීම සඳහා ප්‍රතිපාදන. ආරම්භක හිමිකම් ලියාපදිංචි කිරීමෙන් පසු ඉඩම් කොටසක් උපකොටස්වලට බෙදා වෙන් කළ හැකි වන්නේ අදාළ රාජ්‍ය ආයතන මඟින් නියම කරනු ලබන අවම ඉඩම් ප්‍රමාණය සීමාවට යටත්වය.

5. හවුල් ඉඩම් අයිතිය සඳහා ප්‍රතිපාදන සැපයීම. (දැනට පනතේ මේ සඳහා ඇති ප්‍රතිපාදන සීමිතය.)

6. ඉඩම් අයිතිය පිළිබඳ පිළිගත හැකි ලේඛන නොමැති, එහෙත් නිසැකවම ඉඩම් අයිතිය ඇති අයදුම්කරුවන්ගේ හිමිකම් තාවකාලිකව

ලියාපදිංචි කිරීමට.

7. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක විධිමත් හිමිකම් ලියාපදිංචි කිරීමට අමතරව, අවශ්‍ය විටදී, ඉඩම් හිමියන් විසින් කෙරෙන විශේෂ ඉල්ලීම් මත හිමිකම් ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැකසීම.

(‍ඇ) නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති කෙටුම්පතට අදාළව අමාත්‍යාංශයේ නිරීක්ෂණ නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් කෙටුම්පත සකස් කරමින් පවතී.

(ඈ) (i), (ii) පිළි නොගනී.

(ඉ) හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ හඳුනාගෙන ඇති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් දැනට ඇති පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් මහජනයාට හෝ ආයතනයකට කිසිදු අසාධාරණයක් සිදු නොවේ. යෝජිත සංශෝධනවල මූලික අරමුණ වන්නේ දැනට ක්‍රියාත්මක වන හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමයි.

 

 

පිළිතුරු දුන් දිනය

2013-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks