පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1456/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිරි ගවයන් සඳහා තණකොළ නොමැතිවීම හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල සුළු පරිමාණ කිරි ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති බවත්;
(ii) පුන්නක්කු සහ කිරි ගව පාලනය සඳහා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඒවා සපයා ගැනීමට අපහසු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) කිරි ගොවීන් ආරක්ෂා කර ගැනීමට සහ කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-08
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) කිරි ගොවීන් ආරක්ෂා කර ගැනීමට සහ කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර පහත පරිදි වේ.
1. කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කිරි ගව කර්මාන්තයට අදාළ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින්, ඉදිරි දශකය සඳහා කිරි ගව කර්මාන්තයට අදාළ ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට කටයුතු කරමින් පවතී.
2. තෘණ වගාව සත්ව ආහාර බෝගයක් ලෙස ගැසට් කිරීමට අදාළ පනත් සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
3. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ -FAO- ආධාර සහිත තෘණ හා රනිල ප්‍රභේද ව්‍යාප්ත කිරීම සඳහා ඇති ව්‍යාපෘතිය මඟින් එක් එක් කලාපයට සුදුසු නව වැඩිදියුණු කළ තෘණ ප්‍රභේද හඳුන්වා දීම හා එම රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීම සඳහා මාතෘ තෘණ තවාන් සහ ආදර්ශ තෘණ තවාන් පිහිටුවීම, තෘණ තවාන් ව්‍යවසායකයන් හා "සයිලේජ්" නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් බිහි කිරීම.
4. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පශු පර්යේෂණායතනයේ තෘණ පර්යේෂණ ඒකකය, ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව -USDA- මඟින් අරමුදල් සපයන වෙළෙඳ පොළ යොමු කිරි නිෂ්පාදන -Market-Oriented Dairy- ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී තෘණ ව්‍යවසායකයින් බිහි කිරීමට අවශ්‍ය වැඩසටහන් සිදු කිරීම.
5. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් රිදියගම ගොවිපළෙහි ඉදිරි වසර පහ තුළ අක්කර 700ක භූමි ප්‍රමාණයක සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මුල් අදියරෙහි ලැබෙන අස්වනු සයිලේජ් -Silage- නිෂ්පාදනයට යොදා ගැනීමටද, එම සයිලේජ්වලින් 50%ක් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් අදාළ ආයතන සඳහා අළෙවි කිරීමටද අපේක්ෂිතය.
6. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් කන්දකාඩු, සිංහපුර ගොවිපළේ අක්කර 200ක භූමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙමඟින් ලැබෙන අස්වැන්නෙන් 25%ක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල කිරි ගවයින් සඳහා ලබා දීමට නියමිත වේ.
7. වැඩි අස්වැන්නක් සහිත වැඩිදියුණු කළ තෘණ ප්‍රභේද (උදා: CO 3, CO 4, CO 5, පැචෝන් වැනි) හඳුන්වා දීම හා එම ප්‍රභේද වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණු වැඩසටහන් සිදු කිරීම.
8. පළාත් මට්ටමින් තෘණ තවාන් පිහිටුවා වැඩිදියුණු කළ තෘණ ප්‍රභේද ප්‍රචලිත කිරීමට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ගොවීන්ට හා පෞද්ගලික තෘණ තවාන්කරුවන්ට ලබා දීම.
9. තෘණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා තෘණ වගාව පිළිබඳව තාක්ෂණික උපදෙස් අඩංගු පත්‍රිකා, අත්පොත් මුද්‍රණය කර බෙදා හැරීම හා වරින්වර ජනමාධ්‍ය වැඩසටහන් සිදු කිරීම.
10. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධ වී තෘණ වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය වැඩසටහන් සිදු කිරීම. (උදා: පොල් වගා කිරීමේ මණ්ඩලය වැනි)
11. තෘණ වගා පර්යේෂණ ඒකකය මඟින් තෘණ වගාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ සිදු කිරීම.
12. එමෙන්ම 2023 වසරේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු එක්ව සත්ව අභිජනන ව්‍යාපෘතිය යටතේ ජාතික කෘත්‍රිම සිංචන සේවාව ක්‍රියාත්මක කෙරේ. තවද ගවයින්ට වැළඳෙන වසංගත රෝග වළක්වා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් නිෂ්පාදනය කරන අතර, නොමිලේ එන්නත්කරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
13. බඩ ඉරිඟු සාන්ද්‍ර සත්ව ආහාර නිෂ්පාදනයේදී ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිත කරන අතර, ඊට අමතරව සම්පූර්ණ බඩ ඉරිඟු ශාකයම ගව ආහාර ලෙසද භාවිත කළ හැකි බැවින් දේශීය බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය සඳහා පහත පියවර ගෙන ඇත.
i බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 බෑගයක් රුපියල් 15,000.00ක සහනදායී මිලක් යටතේ ගොවීන්ට ලබා දී තිබේ.
ii 2022/2023 වර්ෂය සඳහා බඩ ඉරිඟු අක්කර 28,000ක් වගා කිරීමට අවශ්‍ය බඩ ඉරිඟු බීජ මෙට්‍රික්ටොන් 144ක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ -JICA- ව්‍යාපෘතිය යටතේ මිලදී ගෙන, ගොවීන් අතර මේ වනවිට බෙදා දී වගා කටයුතු ආරම්භ කර ඇත. එම ඵලදාව නෙළීමේ කටයුතුද ආරම්භ කර ඇත.
iii කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන - SAPP - යටතේ අක්කර 30,000ක් වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිඟු බීජ, පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
iv බඩ ඉරිඟු වගා කිරීමට හැකි ඉඩම් හඳුනා ගෙන එම ඉඩම් වගා කිරීමට ඉල්ලුම් කරන ලද ගොවීන්‍ට ලබා දීමට කටයුතු සිදු කර ඇත.
v 2023 යල කන්නයේ හෙක්ටෙයාර 30,000ක භූමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කර ඇත.
vi කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2022/2023 වර්ෂයේ බඩ ඉරිඟු වගාවට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු සිදු කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks