බලන්න

04

E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

1324/2023: පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව: අදාල චක්‍රලේඛ

1324/2023

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රජයේ පාසලක එක් පංතියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් වර්ෂ 2015 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් චක්‍රලේඛය නිකුත් කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම එක් එක් චක්‍රලේඛය මඟින් නියම කර ඇති රජයේ පාසලක එක් පංතියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45 දක්වා වැඩිකිරීමේ තීරණයක් මෑතකදී ගෙන තිබේ නම්, ඒ සඳහා බලපාන ලද හේතු කවරේද;

(ii) අධ්‍යාපන වෘත්තීය සමිති එම තීරණයට දැඩි විරෝධය දක්වා තිබීම හේතුවෙන්, එම තීරණය නැවත සමාලෝචනය කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      රජයේ පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් වර්ෂ 2015 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සංඛ්‍යාව 03කි.

 

              (ii)      17/2016 - 2016.05.16

                        13/2021 - 2021.05.28

                        17/2023 - 2023.04.25

              (iii)      17/2016 චක්‍රලේඛය

                        අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 15/1490/742/003ට අදාළව 2015.10.21 වන දින ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2016 වර්ෂය සඳහා පමණක් 1 ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් විය යුතු අතර ඊට පසු වර්ෂවල ළමයින් ඇතුළත් කිරී‍මේදී වර්ෂයකට එක් සිසුවෙකු බැගින් අඩු කර 2021 හා ඉන් ඉදිරියට පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35ක් විය යුතු බව.

13/2021 චක්‍රලේඛය

2022 හා ඉන් ඉදිරියට 1 ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියකට සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත යුතු ළමයින් සංඛ්‍යාව 35ක් විය යුතුය. මෙයට අමතරව ක්‍රියාන්විත රාජකාරි අනුග්‍රහය යටතේ පන්තියකට තෝරාගනු ලබන ළමයින් සංඛ්‍යාව 5කි. ඒ අනුව එක් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වේ.

17/2023 චක්‍රලේඛය

2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා එක් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වේ. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් වේ.

2008/17 චක්‍රලේඛය මගින් අ.පො.ස (උසස් පෙළ) එක් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වන බව නියම කර ඇති අතර ඒ සම්බන්ධ සීමාවන් වෙනස්‍වීමකට භාජනය වී නැත.

 

(ආ) (i) 17/2023 චක්‍රලේඛයට පෙර, පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අදාළව ක්‍රියාත්මක වූ 2008/37 චක්‍රලේඛයේ විධිවිධාන අනුව 1 ශ්‍රේණියේ සිට 5‍ ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණිවල සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් වන අතර 17/2023 චක්‍රලේඛය නිකුත් කිරීමේදී එම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස් කිරීමක් සිදු වී නොමැත.

එමෙන්ම 6 ශ්‍රේණියෙන් ඉහළ එක් ශ්‍රේණියක සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් යන්න 2008/37 චක්‍රලේඛයේ සඳහන් පරිදිම 17/2023 චක්‍රලේඛයේ ද සඳහන් කර ඇති අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනසක් සිදු කර නොමැත.

(ii) පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය මඟින් ඊට පෙර ක්‍රියාත්මක වූ 2008/37 චක්‍රලේඛයේ සඳහන් ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ සීමාවන් වෙනස් කර නොමැති හෙයින් එම තීරණය නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

 

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks