01

E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1303/2023: ආහාර නිෂ්පාදනය සඳහා මහවැලි කලාපවල දායකත්වය: වැඩිදියුණු කිරීම

1303/2023

ගරු කිංස් නෙල්සන් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති මහවැලි කලාප සංඛ්‍යාව කොපමණද;

                (ii)      එම කලාපවල නම් කවරේද;

            (iii)       වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය සඳහා මහවැලි කලාපවලින් ලැබුණු දායකත්වය ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

 

(අ)          (i)       මහවැලි කලාප 10කි.

               (ii)      1.       බී කලාපය

                        2.       සී කලාපය

                        3.       ඩී කලාපය

                        4.       මොරගහකන්ද කලාපය

                         5.       ඊ කලාපය

                         6.       එච් කලාපය

                         7.       හුරුළුවැව කලාපය (හුරුළුපෝෂිත ඇළ කලාපය)

                        8.       එල් කලාපය

                         9.       උඩවලව කලාපය (වලව විශේෂ බල ප්‍රදේශය)

       10. රඹකැන් ඔය කලාපය

(iii) වී ඇතුළු තෝරා ගත් අතිරේක භෝග කිහිපයක් ජාතික නිෂ්පාදනය සඳහා දක්වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

 

මෙයට අමතරව, එළවලු සහ පලතුරු මහවැලි කලාපවල නිෂ්පාදනය කරනු ලැබේ.

ධීවර හා පශු සම්පත් අංශය මෙරට ආහාර නිෂ්පාදනය සඳහා දක්වන දායකත්වය ප්‍රතිශතයක්  ලෙස දක්වා ඇත.

(iv) දේශීය ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කෘෂිකාර්මික සහ ධීවර සහ පශු සම්පත් අංශ මඟින් විවිධ පියවර රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකාර්මික අංශය මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන කාර්යයන්:

I. වී වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීමට නව තාක්ෂණය හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම. මේ සඳහා ගුණත්වයෙන් උසස් බීජ වී හා යෙදවුම් ගොවීන් වෙත ලබා දීම.

II. ගොවීන්, බීජ වී හා අනෙකුත් අතිරේක භෝග බීජ නිෂ්පාදනය සඳහා යොමු කිරීම තුළින් කලාපය සඳහා අවශ්‍ය වන බීජ තමන් විසින්ම නිෂ්පාදනය කිරීම සහ වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා යොමු කිරීම. මේ සඳහා අවශ්‍ය වන බීජ හා සම්බන්ධීකරණ කටයුතු මහවැලි අධිකාරිය මඟින් සිදු කිරීම.

III. ආනයනය සීමා කර ඇති භෝග මහවැලි කලාප තුළ ප්‍රචලිත කිරීම තුළින් මහවැලි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දේශීය ආහාර සුරක්ෂිතාව ඇති කිරීම.

IV. සුහුරු කෘෂි තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කිරීම තුළින් වෙනස් වන කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සඳහා උචිත වන ආකාරයට භෝග වගාව සිදු කිරීම, භෝග වගාව ආරක්ෂා කර ගැනීම සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් යොමු කිරීම. මෙමඟින් වර්ෂය පුරා ගොවීන් වගා කටයුතු සඳහා යොමු කිරීම.

V. කාර්යක්ෂම ජල කළමනාකරණය සඳහා විසුරුම් ජල පද්ධති තාක්ෂණය හඳුන්වා දීම සහ වගා ළිං ප්‍රමාණය වර්ධනය කිරීම මඟින් කෘෂිකාර්මික කටයුතු වර්ධනයට මැදිහත් වීම. මෙයට අවශ්‍ය ප්‍රතිපාදන සහ තාක්ෂණික දැනුම මහවැලි නිලධාරින් විසින් ලබා දීම සහ ඒ සඳහා ගොවීන් පුහුණු කිරීම.

VI. වාණිජ ගෙවතු වගා සංකල්පය හඳුන්වා දීම මඟින් මහවැලි ගෙවිලියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ආහාර අපතේ යාම වළක්වමින් ගෙවත්තෙන් උපරිම ඵලදායීතාවක් ලබා ගැනීමට අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම.

VII. අපනයන ගම්මාන ප්‍රවර්ධන වැඩසටහන යටතේ අපනයනය කේන්ද්‍ර කර ගත් භෝග නිෂ්පාදනය සිදු කිරීම. මේ සඳහා අවශ්‍ය වන යෙදවුම් මහවැලි අධිකාරිය මඟින් ලබා දීම හා ව්‍යාප්ති කටයුතු සිදු කිරීම.

VIII. කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීම සහ මොරගහකන්ද නකල්ස් කාබනික කලාපය පිහිටුවීම හා පවත්වාගෙන යාම.

IX. කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩසටහන් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම.

X. පසු අස්වනු තාක්ෂණික ක්‍රම ගොවීන් වෙත හඳුන්වා දීම තුළින් ආහාර නාස්තිය අවම කර ගැනීමට ගොවීන් යොමු කිරීම සඳහා පුහුණු පන්ති පැවැත්වීම හා අගය එකතු කළ නිෂ්පාදන ඇති කිරීමට උනන්දු කිරීම.

ධීවර සහ පශු සම්පත් සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන කාර්යයන්:

I.  කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් ගුණත්වයෙන් යුතු දෙනුන් ලබා දීම, තෘණ වගාව වර්ධනය කිරීම සඳහා තෝරාගත් ප්‍රදේශවල තෘණ භූමිවලට ඉඩම් ලබා දීම, දියර කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ප්‍රමුඛ පෙළේ කිරි නිෂ්පාදන ව්‍යාපාර සමඟ සම්බන්ධීකරණය කිරීම සහ කිරි සමිති පිහිටුවා කිරි ගොවීන් දැනුවත් කිරීම.

මෙහි ප්‍රතිඵලයක් විධියට අපි මේ වන විට දියර කිරි නිෂ්පාදනයෙන් සියයට 8.2ක දායකත්වය සපයනවා, ගරු මන්ත්‍රීතුමනි.

II. බිත්තර නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අභිජනනය කළ ගුණාත්මක කිකිළි පැටවුන් ගොවීන් වෙත ලබා දීම, කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන් හඳුන්වා දීම සහ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ මට්ටම වැඩි කිරීම සඳහා ගෘහස්ත මට්ටමින් බිත්තර නිෂ්පාදන ඒකක හඳුන්වා දීම.

III. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජලාශවලට ගැළපෙන පරිදි මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම, මත්ස්‍ය ඇඟිල්ලන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ජලාශ තුළ ස්ථාපනය කර ඇති දැල් කූඩු තුළ ඇසිත්තන් තැන්පත් කිරීම සහ එම වර්ධනය වූ ඇඟිල්ලන් ජලාශ තුළ තැන්පත් කිරීම, මත්ස්‍ය වර්ධක මධ්‍යස්ථාන හා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකිරීම සහ ජලජීවී අධිකාරියේ සිට මත්ස්‍ය ඇඟිල්ලන් ප්‍රවාහනය සඳහා වෙනම රථයක් යෙදවීම යනාදිය සිදු කිරීම තුළින් මහවැලි කලාපීය ගොවියාගේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා මැදිහත් වී ඇත.

IV. පසු අස්වනු හානිය අවම කිරීමට ධීවරයන් පුහුණු කිරීම සහ ධීවර සමිති ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම.

V. බහු වගාවක් ලෙස මිරිදිය මත්ස්‍ය වගාව වර්ධනය කිරීම සඳහා මිරිදිය ඉස්සන් වගාව හඳුන්වා දී ගොවීන් ඒ සඳහා ‍යොමු කිරීමට විවිධ පියවර ගැනීම.

VI. ධීවර හා පශු සම්පත් දායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහනශීලී පදනම මත ගව නිවාස, කුකුළු නිවාස සහ ධීවර ආම්පන්න ලබා දී ගොවීන් පුහුණු කර නව දැනුම ලබා දීම සිදු කරනු ලබයි.

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks