04

E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0852/2023: මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය: සම්පත් ආරක්ෂා කිරීම

852/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය පසුගිය රජය විසින් ඉදිකර ජනතා අයිතියට පත් කරන ලද බවත්;

            (ii)       මේ වනවිට එම උද්‍යානය ඵලදායි ලෙස භාවිතා නොකිරීම හේතුවෙන් එහි සම්පත් විනාශ වෙමින් පවතින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ටෙලි-සිනමා උද්‍යානය ඉදිකිරීම සඳහා ආයෝජනය කරන ලද මුදල කොපමණද ;

(ii) මේ වනවිට ඉහත උද්‍යානයේ රූගත කිරීම් සිදු කරන්නේද;

(iii) එම උද්‍යානයේ ඇති සම්පත් ආරක්ෂා කර  ගැනීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය 2008.06.11 දිනැති අංක 08/1084/338/024 හා 2010.03.01 දිනැති අංක 10/553/338/005 දරන අමාත්‍ය මණ්ඩල තීරණ අනුව එවකට පැවති රජය විසින් ස්ථාපිත කරන ලද අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කර 2010.03.30 වන දින නිල වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

(ii) නැත. මෙම උද්‍යානය ස්ථාපිත කිරීමෙන් පසු වරින්වර විවිධ අමාත්‍යාංශවල විෂය පථයන්ට පැවරී තිබූ අතර, 2020 අවසන් කාර්තුවේදී ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කරන අවස්ථාවේදී එම රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට පවරන ලදී.

කාර්යාල සංකීර්ණය, නේවාසිකාගාර පද්ධතිය, චිත්‍රාගාරය, රූගත කිරීම් සඳහා භාවිත කරනු ලබන ග්‍රාමීය සහ නාගරික දර්ශන පසුතල යනාදියෙන් මෙම උද්‍යානය සමන්විත වේ. ඒ අතුරින් කාර්යාල සංකීර්ණය, නේවාසිකාගාර පද්ධතිය සහ චිත්‍රාගාරය මේ වන විටද මනා තත්ත්වයෙන් පවත්වාගෙන යනු ලබන අතර, රූගත කිරීම් සඳහා ඉදිකරනු ලබන ග්‍රාමීය සහ නාගරික දර්ශන පසුතල ප්‍රදේශයන්හි ඇති තාවකාලික ඉදිකිරීම් නඩත්තු කිරීමක් සිදු නොවන අතර, ඒවා නඩත්තු කිරීමේ අවශ්‍යතාවක්ද නොමැති බව නිරීක්ෂණය කරමි. එම බොහෝ දර්ශන පසුතල අදාළ නිෂ්පාදන කටයුතු කරනු ලබන ආයතන විසින් ඔවුන්ගේ පිරිවැය යොදවා ඉදිකරනු ලබන අතර, එම රූගත කිරීම් අවසන් වූ පසුවද නරඹන්නන්ගේ දැක බලා ගැනීම සඳහා පැවතීමට ඉඩ හැර  සම්පූර්ණ වශයෙන් අබලන් වූ පසු ඉවත් කරනු ලැබේ. ඒ අනුව, උද්‍යානය තුළ ඇති ස්ථාවර ඉදිකිරීම් මනා තත්ත්වයෙන් පවතින බව ප්‍රකාශ කළ හැක.

(ආ) (i) මෙම උද්‍යානයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය මඟින් වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 818කි. උද්‍යානය මෙම අමාත්‍යාංශයේ විෂය පථයට -2020 වර්ෂයේ අවසන් කාර්තුවේ සිට පැවති ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාල සීමාවද ඇතුළත්ව- පැවරීමෙන් පසු 2021 සහ 2022 යන වර්ෂවලදී වාර්ෂික අය වැය මඟින් රුපියල් මිලියන 74ක ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් වූ අතර, එම ප්‍රතිපාදන සියයට 100ක් භෞතිකව හා මූල්‍යමය වශයෙන් උපයෝජනය කර උද්‍යානය නවීකරණය කර ඇත.

    (ii) ඔව්. මේ අවස්ථාව වන විටත් උද්‍යානය රූගත කිරීම් සඳහා භාවිත කරනු ලබන අතර, උද්‍යානය ආරම්භයේ සිට මේ දක්වා දේශීය චිත්‍රපට 15ක්, දේශීය ටෙලි නිර්මාණ 19ක්, විදේශීය චිත්‍රපට 03ක්, දේශීය වාණිජ නිර්මාණ 15කට අධික ප්‍රමාණයක් සහ විදේශීය සංචාරකයන් සඳහා වන විශේෂ වැඩසටහන් සඳහා පහසුකම් සලසා ඇත. අවසන් වරට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "ක්ෂීර සාගරය කැළඹිණ" චිත්‍රපටය සහ රොෂාන් කුරුප්පු මහතා විසින් අධ්‍යක්ෂණය කළ "අපේ ජනකතා" ටෙලි නාට්‍ය මාලාව සම්පූර්ණ වශයෙන්ම මෙම උද්‍යානය පසුබිම් කරගෙන රූගත කිරීම් සිදු කරන ලදී.

  (iii) ලාංකීය ටෙලි සිනමා කර්මාන්තයේ පවතින සීමාකම් පිළිබඳව අවධානය යොමු කරමින් උද්‍යානයේ කටයුතු වඩාත් ඵලදායී කිරීම සහ උද්‍යානය තුළ සිදු කර ඇති රාජ්‍ය ආයෝජනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ සඳහා අංක අමප 23/0335/620/009 සහ 2023.03.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය හිමි වී ඇති බව ද ප්‍රකාශ කරමි.

එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2334/07 හා 2023.05.30 දිනැති ඇති‍විශේෂ ගැසට් පත්‍රය මඟින් උද්‍යානය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙත පවරා ඇති බව ද විශේෂයෙන්  සඳහන් කරමි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks