01

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0418/2023: දියර කිරි නිෂ්පාදනය සහ පරිභෝජනය: ඉහළ නැංවීමට ගෙන ඇති පියවර

418/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දියර කිරිවලින් සපුරා ගනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සහ ලීටර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       දියර කිරි සඳහා ස්ථාවර මිලක් නියම කර තිබේද;

(iii) පසුගිය වර්ෂ දෙකක කාලය තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර  කවරේද;

(iv) දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වෛද්‍ය පර්යේෂණ ආයතනයේ 2020 ආහාර හා පෝෂණ අවශ්‍යතා නිර්දේශ අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාව ලීටර මිලියන 756කි.

                        ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දියර කිරිවලින් සපුරා ගනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 54.5කි. ලීටර මිලියන 412.05කි.

              (ii)      දියර කිරි සඳහා දැනට ස්ථාවර මිලක් නියම කර නොමැත.

(iii) දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පසුගිය වසර දෙකක කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ගෙන ඇති පියවර පහත පරිදි වේ.

  • "ඵලදායිතා වැඩිදියුණු කිරීම තුළින් මධ්‍යම හා කුඩා පරිමාණ කිරි ගොවිපොළ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය" සහ "කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය" යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළවල අභිජනන කළමනාකරණය සහ පෝෂණ කළමනාකරණය සිදු කිරීම.
  • "මහා පරිමාණ කිරි ගොවිපොළ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය" යටතේ කිරි ගොවිපොළ ස්ථාපනය සහ පෝෂ්‍ය තෘණ සහ සයිලේජ් නිෂ්පාදනය සඳහා ආයෝජකයින් තුන්දෙනෙකු තෝරා ගෙන අවශ්‍ය ඉඩම් ලබා දී ඇත.
  • "සත්ත්ව අභිජනන ගොවිපොළ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය" මඟින් උසස් ආරයේ ඉහළ කිරි නිෂ්පාදන විභවයක් සහිත සතුන් බෝ කිරීම සිදු කරන ලදී.
  • උසස් ආරයේ ගව ශුක්‍ර ආනයනය කර දේශීය ගව වර්ගවල ආරය උසස් කිරීමට කටයුතු කිරීම.
  • ගව/මී ගව අභිජනන වැඩසටහන් හා වැස්සි පැටවුන් ඇති දැඩි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • කිරි ගොවි ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • කිරි ගොවීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්ෂේත්‍ර නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • තෝරා ගත් කිරි ගොවිපොළවල් දෛනිකව කිරි ලීටර් 100ක් නිෂ්පාදනය කරනු ලබන කිරි ගොවිපොළවල් දක්වා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ගවයින්ගේ සෞඛ්‍ය කළමනාකරණ සහ ගවයින්ට වැලඳෙන රෝග පාලනය සඳහා ගවයින් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

· දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන හා පශු පර්යේෂණ ආයතනය හරහා නිරන්තර රෝග විමර්ශන කටයුතු හා රෝග ආවේක්ෂණ කටයුතු සිදු කිරීම හා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සැපයීම.

· දිවයින පුරා විසිරී ඇති පශු වෛද්‍ය කාර්යාල 337ක් මඟින් රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ අවශ්‍ය පශු වෛද්‍ය උපදේශන සේවාව ලබා දීම.

· තෘණ වගාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

 

(iv)  කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පහත පරිදි වේ.

  • "දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" යටතේ,

Ø පාසල් ළමුන් සහ ගැබිනි මව්වරුන් සඳහා දියර කිරි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

Ø සෞඛ්‍යාරක්ෂිත කිරි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා කිරි ගොවීන්ට අවශ්‍ය යෙදවුම් ලබා දීම.

Ø දියර කිරි සැකසුම් සහ පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය යෙදවුම් ලබා දීම.

Ø කිරි සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම, වැඩිදියුණු කිරීම සහ නවීකරණය සඳහා උපකරණ ලබා දීම.

Ø කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත කිරි ශීත කිරීමේ ටැංකි සහ කිරි විශ්ලේෂක යන්ත්‍ර ලබා දීම.

Ø රජයේ ආයතනවලට කිරි බෙදා හැරීමේ යන්ත්‍ර - milk dispensers - ලබා දීම.

  • "කුඩා පරිමාණ කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය" යටතේ කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන 06ක් ස්ථාපනය කිරීම.
  • දියර කිරි අළෙවිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අළෙවිසැල් ප්‍රමාණය වැඩි කිරිම.
  • දියර කිරි පරිභෝජනය හා එහි පෝෂණ අගය පිළිබඳව ග්‍රාමීය ගොවි පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks