04

E   |     |  

 දිනය: 2012-01-17   පිළිතුර ලබා දී ඇත 

2028/2012: නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම : පියවර

2028/’11

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 

(අ)      මෙරට නොයෙකුත් ප්‍රදේශයන්හි වෙසෙන දක්ෂ නිර්මාණ ශිල්පීන්ගේ නව නිර්මාණයන්, නව සොයාගැනීම් ‍සහ ඔවුන් විසින් නිපදවනු ලබන යන්ත්‍ර සූත්‍ර පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශක්තිමත් ආර්ථික මට්ටමක් නොමැති මෙරට නව නිපැයුම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකුට තම නිපැයුම් වැඩිදියුණු කර ඉදිරියට ගෙන යෑමට   හැකියාවක් නොමැති බවත්;

(ii) සමාජයේ ඇති හැකි අය එම පිරිසට මුල්‍යයමය උපකාර ලබා දීමට මැලිකමක් දක්වන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

 (ඇ) (i) නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන  තුළින් මෙරට ආර්ථිකයට හා ප්‍රජාවට ලැබෙන   ප්‍රතිලාභ නිවැරදි ඇගයීමකට ලක්කිරීමටත්;

(ii) ඒ අනුව ඵලදායි  නව නිපැයුම් කළ නිපැයුම්කරුවන්ට දිරිදීම් ලබා දී එම භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීමටත්;

අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-17

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය (තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමිය)

(மாண்புமிகு (திருமதி) பவித்ராதேவி வன்னிஆரச்சி - தொழில்நுட்ப, ஆராய்ச்சி அமைச்சர்)

(The Hon. (Mrs.) Pavithradevi Wanniarachchi - Minister of Technology and Research)

ගරු කථානායකතුමනි, මම ඒ ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)            1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව  නිපැයුම්කරුවන් දිරි ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ (''කොමිසම'') ප්‍රධාන කාර්ය භාරය වන්නේ නව නිපැයුම්කරුවන්ට සහාය දීමය. මෙම කාර්ය භාරය සාර්ථක කර ගැනීම සඳහා  කොමිසම විසින්  වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. පහත (ඇ) යටතේ දක්වා ඇති මෙම වැඩසටහන් තුළින් කොමිසම හා සමඟ සම්බන්ධ වන නව  නිපැයුම්කරුවන් පිළිබඳ තොරතුරු කොමිසම සතුව ඇත.

(ආ)         (i)      නව නිපැයුම් වෙළෙඳ පොළ කරා ගෙන යාම සඳහා සිදු කළ යුතු වැඩිදියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් මූල්‍යමය උපකාර අවශ්‍ය වන බව සත්‍යයකි.

(ii) සමාජයේ ඇති හැකි අය නව නිපැයුම්කරුවන්ට මූල්‍යමය උපකාර ලබා  දීමට මැළිකමක් දක්වන බවට දත්ත නොමැති හෙයින් එය පිළිගත නොහැක.

(ඇ) (i) නව නිපැයුම් මඟින් ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බව රජය පිළිගනී. නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා අවධානය යොමුව ඇත්තේ මේ නිසාය.

       (ii) නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම සහ ඔවුන්ට සහාය දීම සඳහා දැනටමත් වැටසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. ඉන් සමහරක් පහත දැක්වේ.

1. පේටන්ට් බලපත්‍ර ලබා ඇති නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම. මෙවැනි සම්මාන උළෙලක් 2012 වර්ෂයේ ජනවාරි මාසයේදී පැවැත් වූ අතර, අතිගරු ජනාධිපතිතුමන් විසින් නව නිපැයුම්කරුවන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. විශිෂ්ටතම නව නිපැයුම ලෙස තීරණය වූ නිපැයුම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරන ලද අතර, තවත් කිහිප දෙනෙකුට මුදල් ත්‍යාග, කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් ප්‍රදානය කරන ලදී.

2. පේටන්ට් බලපත්‍ර සඳහා වන අයදුම් පත්‍ර සම්බන්ධයෙන් නව නිපැයුම්කරුවන්ට සහාය හා උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.

3. නව නිපැයුම්කරුවන්ට ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසීම සඳහා අවස්ථාවන් සලසා දීම මඟින් වාණිජකරණය කරා ගෙන යා හැකි නව නිපැයුම් සඳහා මූල්‍යමය ආධාර ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දෙනු ලැබේ.

4. කොමිසමේ වෙබ් අඩවිය තුළින් (www.slic.gov.lk) සලසා දී ඇති පහසුකම් මඟින් දේශීය නව නිපැයුම්කරුවන්ට ලියා පදිංචි විය හැක.

5. අපේක්ෂිත වෙබ් අඩවියේ නව අංගයක් තුළින් නව නිපැයුම්කරුවන්ට උපකාර කිරීමට කැමැත්තක් දක්වන මෙරට හා විදේශීය පුද්ගලයින් හා ආයතන නව නිපැයුම්කරුවන් හා සම්බන්ධ කරනු ලැබේ.

6. නව නිපැයුම්කරුවන්ගේ අළෙවිකරණය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම පුළුල් කිරීමට පුහුණු වැඩ මුළු සංවිධානය කරනු ලැබේ.

7. නව නිපැයුම්කරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙනු ලබන "නව නිපැයුම්කරුවන්ගේ ජාතික සමුළුව" පවත්වනු ලැබේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks