02

E   |     |  

 දිනය: 2012-08-21   පිළිතුර ලබා දී ඇත 

1934/2012: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව : ලාභ / අලාභ

1934/’11

 

ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2010 සහ 2011 වර්ෂවලදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම ලාභය හෝ අලාභය ලැබීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේ අවස්ථාවේ සිට ‍ඒවා අවසන් වශයෙන් භාවිතාකිරීම දක්වා ඒ මත පැනවෙන සියලුම බදු සහ ගාස්තු එකතුකිරීමෙන් පසු ලැබෙන සමස්ත ලාභය හෝ අලාභය කවරේද;

(ii) බදු එකතු කර ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීම මගින් රජය විසින් මෙතරම් විශාල අසාධාරණ ලාභයක් උපයා ගැනීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ඇ) හෙජින් වංචාව හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විට විදේශීය බැංකුවලට ගෙවීමට සිදුවී ඇති මුදල් ප්‍රමාණය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-21

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා)

(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - பெற்றோலியக் கைத் தொழில்கள் அமைச்சர்)

(The Hon. A.D. Susil Premajayantha - Minister of Petroleum Industries)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      වර්ෂය                         අලාභය                                                (රුපියල් බිලියන)

                      2010                          26.92

                      2011                          94.51

(ii) * විදුලිබල උත්පාදනය සඳහා සපයනු ලබන දැවි තෙල් ඉතා ඉහළ සහනාධාර මිලකට විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල නිෂ්පාදනය කරන සමාගම්වලට සැපයීමට සිදු වීම සහ ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ගණන්වල සිදු වන වෙනස්කම්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවීම.

* අඛණ්ඩව ලබන සමුච්චිත අලාභය හේතුවෙන්, වෙළෙඳ පොළ පොලී අනුපාතය මත, තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් රාජ්‍ය වාණිජ බැංකුවලින් ලබා ගැනීමට සිදුව තිබීම.

පසු ගිය වර්ෂ 02 තුළ විදුලිබල උත්පාදනය සහ ගමනා‍ගමන කටයුතු සඳහා යොදා ගනු ලබන ඛනිජ තෙල් නිෂ්පාදනවල ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යෑම. ප්‍රධාන ඛනිජ තෙල් වර්ග තුන වන පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල්වල සමස්ත විකුණුම් ප්‍රමාණය සියයට 16.6කින් වැඩි වූ අතර, දැවි තෙල් ඉල්ලුම සියයට 2.4කින් ඉහළ ගොස් තිබීම.

 (ආ) (i)

 

2010

2011

 

(රුපියල් මිලියන)

(රුපියල් මිලියන)

වාර්තාගත මුළු අලාභය

(26,923)

(94,508)

+ බදු හා වෙනත් ගාස්තු

39,388

41,622

ශුද්ධ ලාභය/(අලාභය) බදු ගැළපීමෙන් පසු

12,465 ‍

41,622

(ii)      අසාධාරණ ලාභයක් නොමැත. 

(ඇ)     ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එදිරිව සිටි බැංකුව - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.339,042.14ක මුදලක් ලැබී ඇත.

           නඩුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 192කි. එය ගෙවීමට සිදුව නැත.

           ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එදිරිව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - එක්සත් රාජධානියේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇත. මුළු මුදල බිලියන 162කි.

ඩොයිෂ බැංකුව එදිරිව -ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නොවෙයි- රජය, මෑතකදී දුන් බේරුම්කරණ තීන්දුව අනුව ඩොලර් මිලියන 60.3යි. එම තීන්දුව නිෂේධනය කිරීම සඳහා අභියාචනයට අවශ්‍ය කටයුතු කරමින් සිටී. ඒ අනුව මෙතෙක් හෙජින් ගනුදෙනුව නිසා කිසිදු මුදලක් ගෙවා නැත. අවසාන අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ගෙවීමක් සිදු වන්නේ නැත.

(ඈ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks