01

E   |     |  

 දිනය: 2022-10-03   පිළිතුර ලබා දී ඇත 

2724/2022: බුන්වත් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී: තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම

----

අසන ලද දිනය

2022-10-03

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් (පෙර පීඑල්සී) ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් විය. ඒ අනුව ඉහත කී පනතේ ප්‍රතිපාදන යටතේ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබුණි.

              (ii)      ඔව්. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2013 වර්ෂයේ සිට එහි තැන්පතුකරුවන් සඳහා තැන්පතු මුදල් සහ පොලිය ගෙවීමට අසමත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම ආයතනය මුහුණ දුන් ගැටලු විසඳීමේ අරමුණින් ක්‍රියා මාර්ග ගණනාවක් ක්‍රියාවට නඟා ඇති අතර, එම ක්‍රියා මාර්ග අතර කළමනාකරණ නියෝජිතයෙකු පත් කිරීම, කළමනාකරණ නියෝජිත හරහා ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සකස් කිරීම සහ ප්‍රාග්ධනය යෙදවීමට අවශ්‍ය ආයෝජකයන් සොයා ගැනීමට සහාය දීම වැනි ක්‍රියා මාර්ග ද පවතී. කෙසේ වුවද, ආයතනය යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රයත්න ගණනාවක් දැරුව ද එම කිසිදු ක්‍රියා මාර්ගයක් ඔස්සේ මෙම ආයතනය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි විය.

ආයතනය විසින් එහි ගැටලු විසඳීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 මාර්තු 5 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්  ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරන ලදී.

(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලබා දුන් නියෝගවලට අනුකූලව KPMG (Klynveld Peat Marwick Goerdeler) විගණකවරු විසින් මෙම ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක වෝහාරික හා මූල්‍ය විගණනයක් සිදු කරන ලදී.

  (iv) KPMG විගණකවරුන්ගේ විස්තරාත්මක වෝහාරික හා මූල්‍ය විගණනයේ අනාවරණය වූ කරුණු පදනම් කරගනිමින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2013 ඔක්තෝබර් 02 හා 2014 මැයි 30 දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි දෙකක් ගොනු කර ඇත.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 9111/01/13 යටතේ ගොනු කර ඇති නඩුව ඔස්සේ මෙම ආයතනයේ සිදු වී ඇතැයි විශ්වාස කරන වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනු ලබයි.

(v) ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් Central Investments and Finance (Pvt.) Limited ආයතනයේ තැන්පතුකරුවන් සඳහා එක් තැන්පතුකරුවකු වෙත උපරිම රුපියල් 1,100,000.00ක් (රුපියල් මිලියන 1.1) දක්වා වන්දි මුදල් ගෙවා ඇත. මේ අනුව 2022 ජනවාරි 31 දිනට ‍Central Investments and Finance (Pvt.) Limited ආයතනයේ තැන්පතුකරුවන් 3,455ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් රුපියල් මිලියන 1,808.12ක් වන්දි වශයෙන් ගෙවා ඇත.

මෙම ආයතනයේ ඉතිරි තැන්පතු මුදල් සහ අනෙකුත් ගෙවිය යුතු වගකීම්, ආයතනය ගණන් බේරා‍ වසා දැමීමේ ක්‍රියාවලියේදී එහි පවතින නීති හා විධානයන්ට අනුකූලව පියවාගැනීමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් පවතී. මෙම ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් ‍නඩු අංක CHC/91/2019 CO යටතේ කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

කෙසේ වුවද, ඊට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් Central Investments and Finance (Pvt.) Limited ආයතනය ද ඇතුළත්ව අනෙකුත් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා උපදේශන කමිටුවක් ද පත් කර ඇත. එම නිසා මේ සම්බන්ධයෙන් එම උපදේශන කමිටුවේ අවසන් තීරණය ලැබෙන තුරු මෙම ආයතනය ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks