04

E   |     |  

 දිනය: 2012-08-10   පිළිතුර ලබා දී ඇත 

1831/2012: යෝධ ඇළ ප්‍රතිසංස්කරණ : විස්තර

1831/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මීට වර්ෂයකට  පමණ පෙර මුල්ගල් තැබූ බවත්;

             (ii)      මෙතෙක් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සමාරම්භක උත්සවයට පමණක් සීමා වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) යෝධ ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;

(ii) ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් ආරම්භ නොකිරීමට හේතු කවරේද;

(iii) ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා (වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා )

(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா - நீர்ப்பாசன, நீர்வள முகாமைத்துவ அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(The Hon. Nimal Siripala de Silva - Minister of Irrigation and Water  Resources Management and Leader of  the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන යෝධ ඇළෙහි  කිලෝ මීටර් 34ක් පමණ නටබුන් වී ඇති අතර, මෙය මහවැලි ව්‍යාපාරය ස්ථාපනය කිරීමට පෙර වාරිමාර්ග හා ජල කළමනාකරණ කටයුතු සඳහා භාවිත කරනු ලැබීය. නමුත් දැන් එම ඇළ මාර්ගය අදාළ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගනු නොලැබේ. එසේ වුවත්, මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින්,  කළ යුතු පුනරුත්ථාපන කාර්යයන් හඳුනා ගැනීමේ ආරම්භක රැස්වීමක් පවත්වනු ලැබීය.

(ii) අදාළ පුනරුත්ථාපන කාර්යයන් සහ එමඟින් ඇති වන ගැටලුද හඳුනා ගෙන,  ඉදිරි කටයුතු සඳහා වැඩසටහන් සකස් කරමින් පවතී.

(ආ) (i) ඉහත ii හි සඳහන් කර ඇති පරිදි සියලුම කාර්යයන් හඳුනා ගැනීමෙන් පසුව විස්තරාත්මක ඇස්තමේන්තු සකස් කළ යුතුව ඇති අතර, ඉන්පසු අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම කරනු ඇත. මෙම මූලික විමර්ශන කාර්යයන් සඳහා දැනටමත් ක්ෂේත්‍රයේ සිටින නිලධාරින් සහභාගි කර ගනු  ලබන බැවින් විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කර නොමැත.

(ii) ඉහත (ආ) i හි සඳහන් කර ඇති පරිදි විස්තරාත්මක ඇස්තමේන්තු සකස් කර මුදල් වෙන් කර ගැනීමෙන් පසුව පමණක් භෞතිකව පුනරුත්ථාපන කාර්යයන් ආරම්භ කරනු ලැබේ.

(iii) ඉහත i හා ii කාරණා ඉටු වීමෙන් පසුව මෙම කටයුතු  ආරම්භ කළ හැකිය.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks