04

E   |     |  

 දිනය: 2012-06-22   පිළිතුර ලබා දී ඇත 

1819/2012: දිවුලපැලැස්ස මහවැලි ගම්මානය : පානීය ජල ව්‍යාපෘතිය

1819/’11

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       බදුල්ල දිස්ත්‍රික්‍කයේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිවුලපැලැස්ස මහවැලි ගම්මානයේ ඉදිකරන ලද පානීය ජල ව්‍යාපෘතිය ජලය නොමැති හේතුවෙන් අත්හැර දමා ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එම ජල යෝජනා ක්‍රමය සඳහා වැයකරන ලද මුදල කොපමණද;

  (ii)  ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ජලය ලබාගැනීමේ ශක්‍යතාවය පිළිබඳව අධ්‍යයනයක් කරනු ලැබුවේද;

  (iii)  එම ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ ප්‍රතිඵලය කවරේද;

යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  දිවුලපැලැස්ස මහවැලි ගම්මානයේ ජල ව්‍යාපෘතිය ඉදිකිරීමේදී අයථා මුදල්  පරිහරණයක් සිදු වී ඇති බවට ප්‍ර‍දේශයේ ජනතාව චෝදනා කරන බව දන්නේද;

  (ii)  එසේ නම්, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන්නේද;

  (iii)  ඉහත ජල ව්‍යාපෘතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (iv)  එසේ  නම්, එම දිනය කවරේද;

  (v)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-06-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே)

(The Hon. Susantha Punchinilame)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)       මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකව පවතී.

           2011 වර්ෂයේ සිට මෙම ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 51ක් සඳහා ජල මීටර් යොදා ජල සැපයුම ලබා දී ඇත. නමුත් 2012 වර්ෂයේ මාස 4ක පමණ කාල සීමාවකදී පැවති දැඩි නියඟය නිසා මෙම ජල මූලාශ්‍රවල භූගත ජල මට්ටම පහත වැටුණු බැවින් ප්‍රතිලාභීන් සියලු දෙනා වෙත ජල සැපයුම ලබා දීමට මහියංගනය ප්‍රාදේශීය සභාවට නොහැකි වී ඇත. නමුත් දැනට සියලු ප්‍රතිලාභී පවුල් සඳහා අඛණ්ඩව ජල සැපයුම සිදු කරනු ලබයි.

(ආ) (i) ජල යෝජනා ක්‍රමය සඳහා වැය කරන ලද මුදල: ප්‍රතිපාදන වෙන් කිරීම. 

අංකය

ආයතනය

වර්ෂය

වෙන් කළ මුදල (රුපියල්)

01

ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය

2007

1,166,564.71 රුපියල් මිලියන 1.16කි.

02

ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය

2008

500,000.00 රුපියල් ලක්ෂ පහකි.

03

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

2010

1,000,000.00 රුපියල් මිලියනයකි.

04

ප්‍රාදේශීය සභාව (මහියංගනය)

2011

435,367.50 රුපියල් හාරලක්ෂ තිස්පන්දහස් තුන්සිය හැටහතකි.

 

එකතුව

 

3,101,932.21 රුපියල් මිලියන 3.1කි.

(ii) ඔව්.

(iii) මෙම ගම්මානයේ ජනතාව පානීය ජල අවශ්‍යතාව සම්බන්ධයෙන් නොයෙකුත් දුෂ්කරතා විඳි බවත්,  පැවති ජල මූලාශ්‍රය මඟින් අවශ්‍ය ප්‍රතිලාභීන් වෙත ජලය සැපයිය හැකි බවත්, ප්‍රතිලාභීන් නිරන්තරයෙන් ඉල්ලීම් කළ බැවින් ක‍්ෂේත්‍ර පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලදී.

විශේෂ වූ වෙනත් ජල මූලාශ්‍රයක් මෙම දුෂ්කර ප්‍රදේශයේ නොමැති වූ බැවින් වැව ආශ්‍රිතව සකසන ලද ළිඳක් මඟින් ජලය ගබඩා ටැංකිය වෙත නළ මඟින් ගෙන යෑමට කටයුතු කර ඇත.

(ඇ)         (i)      මෙවැන්නක් සිදු වී නොමැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම නොව මෙහි නඩත්තු කටයුතු කිරීම සඳහා අදාළ උපදෙස් ප්‍රාදේශීය සභාවට ලබා දී ඇත. 

             (iv)      අදාළ නොවේ.

              (v)      අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks