01

E   |     |  

 දිනය: 2021-11-27   පිළිතුර ලබා දී ඇත 

1209/2021: තේ පරීක්ෂකවරුන්ගේ හිඟය සහ ‍තේ නැවත වගා කිරීමේ සහනාධාරය: විස්තර

1209/2020

ගරු වරුණ ලියනගේ මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)           (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට තේ පරීක්ෂකවරුන්ගේ දැඩි හිඟයක් පවතින බවත්;

             (ii)       රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තේ පරීක්ෂක කොට්ඨාස 25න් 08ක තේ පරීක්ෂකවරුන් නොමැති බවත්;

            (iii)       මේ හේතුවෙන් එක් තේ පරීක්ෂකවරයෙකුට කොට්ඨාස කිහිපයක වැඩ ආවරණය කිරීමට සිදු වීම හේතුවෙන් නිසි සේවයක්  සිදු නොවන බවත්;

(iv) තේ නැවත වගාව සඳහා හෙක්ටයාර් එකකට ලබා දෙනු ලබන රුපියල් ලක්ෂ පහක් වූ සහනාධාර මුදල ප්‍රමාණවත් නොවන බවත්;

(v) පාළු සිටුවීමේදී එක් තේ පැළයකට ලබා දෙන ලද රුපියල් 25ක් වූ සහනාධාර මුදල, පසුගිය රජය විසින් රුපියල් 100ක් දක්වා වැඩි කළ බවත්;

(vi) එසේ වැඩි කරන ලද මුදල් සහ තේ නැවත වගාව සඳහා ලබා දෙනු ලබන සහනාධාර මුදල් තේ වගාකරුවන්ට ලබා දීමේදී දැඩි ප්‍රමාදයක් පවතින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) ඉහත (iv) හි සඳහන් සහනාධාර මුදල වැඩි කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-27

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)         ඔව්. විශ්‍රාම යෑම හේතුවෙන්  අනුමත තේ පරීක්ෂකවරුන්  සංඛ්‍යාව වන 144 දෙනාගෙන් තේ පරීක්ෂක කොට්ඨාස 19ක් සඳහා තේ පරීක්ෂකවරුන් පුරප්පාඩුව පවතී. ඒ  අනුව,  එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා  අවශ්‍ය කටයුතු  සිදු කරමින් පවතී.

               (ii)         නැත. තේ පරීක්ෂක කොට්ඨාස 02ක පමණක් පුරප්පාඩු පවතී.

               (iii)         පුරප්පාඩු වී ඇති තේ පරීක්ෂක කොට්ඨාස සඳහා තේ  පරීක්ෂකවරුන් බඳවා ගන්නා තෙක්  ආසන්නම තේ පරීක්ෂක කොට්ඨාසයේ  වැඩ බැලීම සඳහා තේ පරීක්ෂක නිලධාරින් යොදවා ඇත.

     (iv) ඔව්. තේ නැවත වගා  හෙක්ටෙයාරයක් සඳහා  2015 වසරේ සිට  ලබා දුන් සහනාධාරය වන  රුපියල් 500,000ක මුදල 2021 වර්ෂයේ සිට රුපියල් 750,000ක් ලෙස වැඩි කර ඇත.

මෙම රුපියල් 750,000 යටතේ තේ නැවත වගාව මඟින්  අහිමිවන ආදායම වෙනුවෙන් මුළු ඉඩම් අයිතිය අක්කර 1ක් හෝ ඊට වඩා අඩු රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවක් හෝ වෙනත් ස්ථිර ආදායම්  මාර්ගයක්  නොමැති කුඩා තේ වතු හිමියන්හට උපරිමය  අක්කර 1/2 සඳහා මාසික දීමනාවක් ලෙස රුපියල් 5,000 බැගින් මාස 24ක කාලයකට රුපියල් 120,000 ක් ලබා දේ.

      (v) පාළු සිටුවීමේදී  එක් තේ පැළයකට  ලබා දෙන සහනාධාරය  රුපියල් 25 සිට රුපියල් 100 දක්වා  2019 වසරේ  සිට ඉහළ නංවා ඇති අතර, එම ගෙවීම  දැනටත්  සිදු කරමින් පවතී.

      (vi) නැත. 2021 අගෝස්තු මාසය දක්වා වැඩ අවසන් කර ඇති ගොවීන් සඳහා සහනාධාර මුදල් ගෙවා අවසන් කර ඇත.

(ආ) තේ නැවත වගා හෙක්ටයාරයක්  සඳහා වන සහනාධාර මුදල සියයට 50කින් දැනටමත් වැඩි කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks