01

E   |     |  

 දිනය: 2021-07-07   පිළිතුර ලබා දී ඇත 

1202/2021: උප තැපැල් ස්ථානාධිපතිවරු: පහසුකම් සහ වරප්‍රසාද

----

අසන ලද දිනය

2021-07-07

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)          (i)      1995.11.08 දින අමප/95/2547/114/067 යටතේ ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ නව ශ්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සේවයේ පිහිටුවීම අනුමත කර ඇත. ඒ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද උප තැපැල් ස්ථානාධිපතිවරුන් 1994.11.12 දින සිට ස්ථිර විශ්‍රාම වැටුප් සහිතව එම තනතුරුවලට අන්තර්ග්‍රහණය කර ඇත.

(ii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 අනුව උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා බදවා ගැනීමේ පටිපාටියක් සකස් කර ඇති අතර, එය 2011.11.28 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කර ඇත. ඒ අනුව ඒ වන විට MN 1 - 2006 A වැටුප් පරිමාණය යටතේ වැටුප් ලබන සියලු   උප තැපැල් ස්ථානාධිපතිවරුන් කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයෙහි III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන ලෙස උපදෙස් දී ඇත. ‍

 

(ආ) (i) උප තැපැල් ස්ථානාධිපතිවරුන් MN 1 - 2006 A වැටුප් පරිමාණයට අයත් වන අතර කළමනාකරණ සහකාර සේවයේ II ශ්‍රේණියට අයත් අනිකුත් නිලධාරින් යනු MN 3 - 2006 A  වැටුප් පරිමාණය යටතට ගැනෙන නිලධාරින් වේ.

2011.11.28 දින අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයෙහි III ශ්‍රේණියේ උපතැපැල් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ක්‍රමය හා කොන්දේසි පමණක් සංශෝධනය කර ඇත. එහෙත් එමඟින් ඉහත කී අමප/95/2547/114/067 දරන අමාත්‍ය මණ්ඩල තීරණය යටතේ අනුමත කරන ලද උපතැපැල් ස්ථානාධිපති සේවා ව්‍යවස්ථාව අවලංගු වී නැත.

එම සේවා ව්‍යවස්ථාව අනුව උපතැපැල් ස්ථානාධිපතිවරයෙකුට,

  • ආයතන සංග්‍රහයේ පරිදි ප්‍රසූත නිවාඩු හිමිකම ඇත. (වැටුප් සහිත දින 84, අඩ වැටුප් සහිත දින 84 හා වැටුප් රහිත දින 84 ලෙස) උපතැපැල් ස්ථානාධිපති ප්‍රසූත නිවාඩු ලබා ගන්නා කාලය තුළ එම උපතැපැල් කාර්යාලයේ රාජකාරි ඉටු කිරීම සඳහා සුදුසු ආදේශකයෙකු උපතැපැල් ස්ථානාධිපතිගේ වියදමින් යෙදවිය යුතුය. ඒ සඳහා උපතැපැල් ස්ථානාධිපති හට ආදේශක දීමනාව ලෙස දින 30ක දෛනික වැටුපට සමාන දීමනාවක් පමණක් ගෙවනු ලැබේ.
  • වර්ෂයකදී විවේක නිවාඩු දින 28ක් පමණක් හිමිකම ඇත. මෙම නිවාඩුව ලබා ගැනීමේදී ද උපතැපැල් කාර්යාලයේ රාජකාරි ඉටු කිරීම සඳහා සුදුසු ආදේශකයෙකු උපතැපැල් ස්ථානාධිපතිගේ වියදමින් යෙදවිය යුතුය. ඒ සඳහා වර්ෂයකට දින 28ක දෛනික වැටුපට සමාන ආදේශක දීමනාවක් සෑම උපතැපැල් ස්ථානාධිපතිවරයෙකුටම ගෙවනු ලැබේ.
  • සතියක අවම සේවා කාලය පැය 48කි. මැතිවරණ රාජකාරි වැනි විශේෂ අවස්ථාවලදී හැර අතිකාල හිමිකම් නොලබති.
  • උපතැපැල් කාර්යාලය සඳහා සුදුසු ඉඩකඩ උපතැපැල් ස්ථානාධිපති විසින් සැපයිය යුතුය. ඒ වෙනුවෙන් නාගරික ප්‍රදේශයක නම් රුපියල් 1,500ක්ද, ග්‍රාමීය ප්‍රදේශයක නම් රුපියල් 750ක්ද මාසිකව උපතැපැල් ස්ථානාධිපති වෙත ගෙවීම් සිදු කෙරේ.

ගරු කථානායකතුමනි, මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය මෙයයි. තැපැල් දෙපාර්තමේන්තුවට උපතැපැල් ස්ථානාධිපතිවරු ග්‍රහණය කර ගත්තාට පසුව තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අනන්‍ය වූ සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබෙනවා. මේකේ මව් ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. එම නිසා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම හරහා 06/2006 චක්‍රලේඛය මඟින් අනුමත නොවුණු මේ කාරණා ඇතුළත් කර ගන්න ඕනෑ කියන එකයි අපේ විශ්වාසය.

(ii) උපතැපැල් ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රසූත නිවාඩුව සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව, ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගත් අතර, -ඒ සම්බන්ධයෙන්  වෙනම කමිටුවක් පත් කර තිබෙනවා, මගේ පූර්වගාමීන්-   ප්‍රසූත නිවාඩුව සඳහා දැනට උපතැපැල් ස්ථානාධිපතිවරයෙකුට ලබා දෙන දින 30ක වැටුපට සමාන දීමනාව දින 84 දක්වා වැඩි කිරීමට වාචිකව එකඟ වී ඇත. ඒ සඳහා ලිඛිත විධිමත් අනුමැතිය මෙතෙක් ලැබී නැත.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අනන්‍ය වූ නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී ඇති අතර, එයට MN 1 උප තැපැල් ස්ථානාධිපති තනතුරද ඇතුළත් කර ඇත. ඒ සේවා ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී දැනට පවතින සේවා ව්‍යවස්ථාවට සුදුසු සංශෝධන ඇතුළත් කිරීමට හැකියාව ඇති බවද කාරුණිකව දන්වා සිටිමි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks