01

E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0759/2020: උතුරු පළාතේ වනාන්තර භූමි: විස්තර

759/2020 ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති උතුරු පළාත තුළ පිහිටි වනාන්තරවලට අයත් භූමි ප්‍රමාණය කොපමණද; (ii) වර්ෂ 1982 වනවිට ප්‍රකාශ කර තිබූ වනාන්තරවලට අයත් භූමි ප්‍රමාණය කොපමණද; (iii) එම භූමි ප්‍රමාණයන් අතර වෙනසක් පවතින්නේ නම්, එම වෙනසට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) තෝරගත් ප්‍රදේශයක් රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කරනු ලබන ක්‍රමවේදය කවරේද; (ii) 2009 වර්ෂයේ සිට මේ වනතෙක් උතුරු පළාතට අදාළව අලුතෙන් වන ආරක්ෂණය සඳහා නිකුත් කළ ගැසට් පත්‍ර සංඛ්‍යාව කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උතුරු පළාත තුළ මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ගණන 53ක් වන අතර, භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 353,657කි.

              (ii)      1982 වර්ෂයට පෙර උතුරු පළාත තුළ ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ගණන 35ක් වන අතර, භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 198,174කි.

(iii) 1982 වර්ෂය හා 2020 වර්ෂවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර භූමි ප්‍රමාණයේ වෙනසක් දක්නට ලැබෙනුයේ උතුරු පළාත තුළ 1982 වර්ෂයට පසුව වනාන්තර 27ක් රක්ෂිත වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බැවිනි.

(ආ) (i) වනාන්තරයක ජෛව විවිධත්වය, පස හා ජලය සංරක්ෂණය කිරී‍මේ කාර්යය සහ එහි අනන්‍ය පරිසර පද්ධති, ජාන සම්පත් සහ දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ව හා වෘක්ෂලතා විශේෂ ද සුරක්ෂිත කිරීමේ කාර්යය සඳහා රක්ෂිත වනාන්තරයක් ගැසට් කරනු ලැබේ. මෙහිදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගනු ලැබේ.

1. රක්ෂිත වනාන්තරයේ වැදගත්කම හඳුනා ගැනීම.

2. නිශ්චිත මායිම් සහිත පිඹුරක් සකස් කිරීම.

3. මායිම් උපලේඛනය සකස් කිරීම.

4. රක්ෂිත වනාන්තරයක් බවට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවට භාෂා ත්‍රිත්වයෙන් සකස් කරන ලද දැන්වීම් වන සංරක්ෂණ ආඥා පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව ප්‍රසිද්ධ කිරීම සඳහා දිස්‍ත්‍රික් ලේකම් වෙත භාර දීම.

5. ගැසට් නිවේදනය පිළියෙල කර අමාත්‍යවරයාගේ අත්සන සඳහා ඉදිරිපත් කිරීම.

(ii) 12කි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks