01

E   |     |  

 දිනය: 2021-12-02   පිළිතුර ලබා දී ඇත 

0714/2021: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම්: පදිංචිකරුවන්ට ඔප්පු

714/2020

ගරු මයන්ත දිසානායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති  ඉඩම් ප්‍රමාණය කොපමණද;

            (ii)       එම ඉඩම් පිහිටි ප්‍රදේශ කවරේද;

            (iii)       එම ඉඩම් වල පදිංචි වී සිටින පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් පවුල් ඒකක සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබා දී තිබේද;

(ii) එසේ නම් ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව කොපමණද;

(iii) ඔප්පු ලබා දිය යුතු එහෙත් මේ වනතෙක් ඔප්පු ලබා දී නොමැති පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;

(iv) ඉඩම් ඔප්පු නොමැති පවුල් ඒකක සඳහා ඔප්පු ලබා දීමට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-02

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දළ වශයෙන් ගොඩ-මඩ ඉඩම් අක්කර එක්ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ඇත. මෙය නිශ්චය කර ගැනීම සඳහා ඉඩම් ලේඛනයක් පිළියෙල කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, ඒ සඳහා මාස හයක පමණ කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

              (ii)      පහත දැ‍ක්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ එම ඉඩම් පිහිටා ඇත.

1. පස්බාගේ කෝරළය

2. ගඟඉහළ කෝරළය

3. දොළුව

4. උඩපළාත

5. ගඟවට කෝරළය‍

6. පාතහේවාහැට

7. දෙල්තොට‍

8. තුම්පනේ

9. යටිනුවර

10. උඩුදුම්බර

11. මැදදුම්බර

12. පාතදුම්බර

13. කුණ්ඩසාලේ

14. උඩුනුවර

15. හාරිස්පත්තුව‍

16. අකුරණ

17. පූජාපිටිය

 

(iii) නිශ්චිතව ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු අවසන් කරන තෙක් එම ඉඩම්වල පදිංචි පවුල් ඒකක සංඛ්‍යාව නිශ්චිතව හඳුනා ගැනීමේ ගැටලුවක් පවතී.  අනවසර පදිංචිකරුවන් මෙන්ම එකම ඉඩම් කොටස් තුළ පවුල් ඒකක කිහිපයක් පදිංචිව සිටීම ද මීට හේතු වේ.

ඉඩම් ලේඛන සැකසීම දැනට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇත. ඉදිරියේදී ඒ අනුව කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය මෙන්ම එම ඉඩම් භුක්ති විඳින්නන් පිළිබඳව නිශ්චිත තොරතුරු ද ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

(ආ) (i) ඔව්. ප්‍රාදේශීයව පවත්වනු ලබන ජංගම සේවා මඟින් හඳුනා ගනු ලබන සහ ඉල්ලුම් කරනු ලබන තැනැත්තන් වෙත නීත්‍යනුකූල ඔප්පු ලබා දීම සිදු කෙරේ. මේ සඳහා "ඉඩම් කොමිසම ගමට" වැඩසටහන සකස් කර ඇත.

(ii) ලේඛනගත තොරතුරු වාර්තාවල 1998 වසරින් පසුව ඔප්පු 7,000ක සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව සඳහන් වන අතර, කොමිෂන් සභාව ආරම්භයේ සිට මේ දක්වා ඔප්පු විශාල  ප්‍රමාණයක් නිකුත් කර ඇත. 1972 සිට පැවති තොරතුරු සහිත ලේඛන දිරාපත් වීම හා ක්‍රමවත්ව යාවත්කාලීන නොවීම මත අතීතයේදී ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් වූ නිශ්චිත සංඛ්‍යාත්මක දත්ත සැපයිය නොහැකිය.

(iii) රැස්කර ගත් තොරතුරු අනුව ඔප්පු ලබා දිය යුතු පවුල් ඒකක පහත දැක්වෙන පරිදි වේ.

 

1. පස්බාගේ කෝරළය -   910

2. ගඟඉහළ කෝරළය -  919

3. දොළුව -  350

4. උඩපළාත -  150

5. ගඟවට කෝරළය -  10

6. පාතහේවාහැට -  169

7. දෙල්තොට -  192

8. තුම්පනේ -  103

9. යටිනුවර -  25

10. උඩුදුම්බර -  17

11. මැදදුම්බර -  325

12. පාතදුම්බර -  51

13. කුණ්ඩසාලේ -  200

14. උඩුනුවර - 135

15. හාරිස්පත්තුව - 130

16. අකුරණ - 138

17. පූජාපිටිය - 290

 (iv) ඉහත පරිදි විසිරී සිටින පවුල් ඒකක අතුරින්, දිස්ත්‍රික්කය තුළ නව ඉඩම් හා පදිංචි ඉඩමේ නීත්‍යානුකූල හිමිකමක් මෙතෙක් ලැබී නොමැති තැනැත්තන් හඳුනා ගැනීම සඳහා ජංගම සේවා/ සුදුසුකම් පරික්ෂණ පැවැත්වීමට කටයුතු කරගෙන යනු ලබයි. එහිදී, ඉදිරිපත් කරනු ලබන ලේඛනමය තොරතුරු ආශ්‍රයෙන් සුදුසුකම් සම්පූර්ණ කරන තැනැත්තන් තෝරා ගැනීමෙන් පසු ඉඩම් ඔප්පු ලබාදීම සිදු කරයි. මේ යටතේ "රන්බිම" නමින් ලබාදෙනු ලබන ඔප්පුවක් මඟින් ඉඩමේ සින්නක්කර අයිතිය "ගෙදරටම ඔප්පුව ලබාදීම" නම් වූ සුවිශේෂි වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද 2021/01 අංක දරන නව චක්‍රලේඛය යටතේ මේ සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks