පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
507/2020 ගරු ජගත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) පසුගිය රජය විසින් දේශපාලන පදනමින් සමෘද්ධි සහනාධාර ලබා දුන් බව පිළිගන්නේද; (ii) ඒ හේතුවෙන්, සුදුසුකම් ලැබූ විශාල පිරිසකට එම සහනාධාරය නොලැබුණු බව පිළිගන්නේද; (iii) “සෞභාග්‍යයෙ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සමෘද්ධි සහනාධාර නොලැබුණු අයට ඒවා ලබා දීමට කටයුතු කරන්නේද; (iv) එසේ නම්, එම දින වකවානු කවරේද; (v) සමෘද්ධි සහනාධාරවල වටිනාකම වැඩි කිරීමට පියවර ගන්නේද; (vi) එසේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කර වර්ෂ 25කට ආසන්න වුවද, සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට කිසිදු උසස්වීමක් ලැබී නොමැති බව පිළිගන්නේද? (ii) එම උසස්වීම් ලබා දීමට කටයුතු කරන්නේද; (iii) එසේ නම්, එම දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) වර්තමාන රජය විසින් සමෘද්ධි ව්‍යාපාරයේ හා සමෘද්ධි නිලධාරින්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව දන්නේද? (ii) එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් ඉදිරිපත් කළ ගැටලු; (iii) මේ වනවිට ඒ පිළිබඳව ගෙන ඇති පියවර; කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-03
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
2018 වර්ෂයේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ මත සමෘද්ධි සහනාධාර සඳහා එම වර්ෂය තුළ වෙන්ව තිබූ රුපියල් බිලියන 44ක සීමාව තුළ අලුතින් පවුල් 150,000ක් සඳහා නව සමෘද්ධි සහනාධාර ලබා දීමට කටයුතු කර ඇත.
එහිදී වසම් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විධිමත්ව පත් කළ කමිටු මඟින් සුදුසු ප්‍රතිලාභින් තෝරා ගෙන අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ මත ප්‍රමුඛතා ලේඛන සකස් කර තිබුණි. 2019 වර්ෂයේ පසුගිය රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, පවුල් 430,000ක් සඳහා පළමු වටයේදී නව සහනාධාර හිමිකම් ලබා දී ඇත. මෙහිදී 2018 වර්ෂයේදී සකස් කරන ලද උක්ත ඡේදයේ සඳහන් ප්‍රමුඛතා ලේඛන පදනම් කරගෙන ඇති අතර, එම ලේඛන අතරින් ප්‍රමුඛතා පදනම සැලකිල්ලට නොගෙන අවිධිමත්ව තෝරා ගන්නා ලද පිරිසක් වෙත ද සහනාධාර ලබා දී ඇති බවට කරුණු වාර්තා වී ඇත.
(iii) ඔව්.
(iv) මෙම සමෘද්ධි ප්‍රතිලාභින් සවිබල ගැන්වීමේ වැඩසටහනට අදාළව සැලසුම් සැකසීමේ කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර, 2021 වර්ෂය ආරම්භයේ සිට නිසි ක්‍රමවේද අනුගමනය කරමින් සහනාධාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.
ගරු කථානායකතුමනි, දැනට අපට ලැබී තිබෙන ඉල්ලීම් ප්‍රමාණයත් එහිදී අපි විශේෂයෙන්ම සැලකිල්ලට ගන්නවා.
(v) සමෘද්ධි සහනාධාර දැනට ලබා දෙන ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් අපි තීන්දුවක් අරගෙන නැහැ. නමුත් දැනට වෙන් වෙලා තිබෙන බිලියන 45කට ආසන්න සීමාව තුළ එම සහනාධාරය ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු අපි ලබන වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනවා.
(vi) සමෘද්ධීලාභින් බලගැන්වීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළ මේ වනවිටත් සකස් කරමින් පවතිනවා. ගෘහ ආර්ථිකය නංවාලීම තුළින් මෙම පවුල්වල ආර්ථික තත්ත්වය ඉහළ දැමීම කළ යුතු අතර, සහනාධාර මානසිකත්වයෙන් මිදී සමාජය සවිබල ගැන්වීමේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ එක්කම, මේ අය වැය ලේඛනය තුළ සමෘද්ධිලාභින් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම සඳහා රුපියල් බිලියන දහයක ප්‍රතිපාදන මුදල් ඇමතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් වෙන් කර තිබෙනවා.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
පොදුවේ සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට සාධාරණයක් වන පරිදි උසස්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
(iii) ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අවසන් අනුමැතිය ලබා දුන් පසුව ඉදිරි කටයුතු කළ යුතු බැවින්, දිනය නිශ්චිතව කිව නොහැක. එම තීරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
(ඇ) (i) ඔව්.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා නැවත මේ ප්‍රශ්නය යොමු කළොත් හොඳයි. ඔබතුමාත් දන්නා පරිදි අපි ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එ් වාගේම අමාත්‍යාංශ ලේකම්තුමාත් සමඟ සමෘද්ධි නිලධාරින්ට දැනට පවතින වෘත්තීමය ගැටලු සහ ඔවුන් බලාපොරොත්තු වන විසඳුම් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කරලා, අපට පුළුවන් වුණා, කාරණා කිහිපයකට එකඟතාවලට එන්න. ඒ අනුව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ කාරණා සම්බන්ධයෙන් එකඟතාවලට එන්න අපට පුළුවන්. එම නිසා ඔබතුමා නැවත ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළොත් සවිස්තර උත්තරයක් ලබා දෙන්න පුළුවන්.
ඊට අමතරව තිබෙනවා, ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව. එම පත්‍රිකාව සඳහා අපට අනුමැතිය ලැබී තිබෙනවා. සමෘද්ධි අධිකාරිය කාලය තුළ ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අතෘප්තියට පත් සේවකයෙකුට තම අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට අවස්ථාව දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබෙනවා.
(ii)
1. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
2. 2017 අංක 02 දරන දිවිනැගුම (සංශෝධන) පනතෙන් සංශෝධිත 2013 අංක 01 දරන සමෘද්ධි පනතේ 44 (ඉ) iii වගන්තිය යටතේ 2014.01.03 දින සිට සේවයට බැඳුණු නිලධාරින්ගේ වැටුප් ඔවුන් ලබමින් සිටි ශ්‍රේණියේ ආරම්භක වැටුප ලබා දීම සම්බන්ධව මතු වී ඇති ගැටලුව විසඳීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
3. වසර 20ක සේවා කාලයක් සපුරා ඇති නිලධාරින් I ශ්‍රේණියට උසස් කිරීම සඳහා අවශ්‍ය වන II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයෙන් නිදහස් කිරීම සඳහා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
4. නිලධාරින් විසින් මෙතෙක් ලබාගෙන ඇති ප්‍රතිලාභ මුදල්වලින් රජයට ආපසු ගෙවිය යුතු මුදල ගෙවීම සඳහා දැනට තීරණය කර ඇති වාරික 60 වෙනවුට වාරික 120ක් දක්වා වැඩිකර ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
5. අධිකාරි කාලය තුළ උසස්වීම ලබා ගැනීමට නොහැකි වූ නිලධාරින් පිරිසක් වෙනුවෙන් MN-07 වැඩුප් කාණ්ඩය යටතේ තනතුරු ඇති කිරීමට අදාළව යොමු කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
6. අධිකාරි කාලය තුළ ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව.
(iii) ඉහත අංක 1 සිට 6 දක්වා සඳහන් කළ ගැටලුවලට ලැබී ඇති විසඳුම් පහත සඳහන් පරිදි වේ.
1. 2014 වසරේ අනුමත කළ කාර්ය මණ්ඩලය පදනමන් කර ගනිමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාව අනුව, රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධ වී දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රශස්ථ කාර්ය මණ්ඩලය හා සංවිධාන ව්‍යුහය සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය උපදෙස් දී ඇති අතර, එම කටයුතු ද මේ වන විට නිම කර ඇත.
2. මේ සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අවස්ථා දෙකකදී ලබා දී ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද ලබා දී ඇත. ඒ අනුව, පනතේ 44 (ඉ) iii වගන්තිය යටතේ සේවයට බැඳුණු නිලධාරින්ට 2014.01.03 දින සිට අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක පියවරේ වැටුප ලබා දීමටත්, ශ්‍රේණි වැටුප හා ආරම්භක වැටුප අතර වෙනස ගැළපීම් දීමනාවක් ලෙස ලබා දීමටත් තීරණය කර ඇත.
3. අමාත්‍ය මණ්ඩල තීරණය ලැබී නොමැත.
4. අමාත්‍ය මණ්ඩල තීරණය ලැබී නොමැත.
5. පැවැති අධිකාරියට අදාළව අනුමතව තිබූ බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටි ඇතුළත් විධිවිධානවලට අනුව, අදාළ උසස්වීම් ලබාදිය යුතු බවත්, තවදුරටත් පැරණි බඳවා ගැනීම් පටිපාටිය යටතේ උසස්වීම් සිදු කළ නොහැකි බැවින්, MN-07 වැටුප් කේතය ඉල්ලා තිබූ තනතුරු වෙනුවෙන් එය ලබා දීමට නොහැකි බවට තීරණය වී ඇත.
6. අධිකාරිය කාලය තුළ ලබා දුන් විනය නියෝග සම්බන්ධයෙන් අතෘප්තියට පත් සේවකයෙකුට තම අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks