01

E   |     |  

 දිනය: 2020-10-23   පිළිතුර ලබා දී ඇත 

0491/2020: ආනවිලුන්දාව කුරුලු අභය භූමිය: අනවසර ඉස්සන් වගාව

491/2020 ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ආනවිලුන්දාව කුරුළු අභය භූමිය (රම්සා තෙත්බිම) තුළ දැනට අනවසර ඉස්සන් වගාව සිදුවන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) මෙම ප්‍රදේශය තුළ, ඉස්සන් වගාව සිදු කරන ලද කොටු අත්හැරීම මෙන්ම, ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරමින් භාවිතා කරන බව එතුමා පිළිගන්නේද; (ii) ඉහත අනවසර ඉස්සන් වගාව නවතා දැමීමට ගනු ලැබූ පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-23

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           අංක 979/15 හා 1997.06.11 දින දරන ගැසට් පත්‍රය මඟින් අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ රජයේ ඉඩම්වල ඉස්සන් වගාව සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලපත්‍ර ලබා දීමක් සිදු කර තිබුණි. 2019 වසරේ සිට රජයේ ඉඩම්වල පවත්වාගෙන යනු ලබන ඉස්සන් කොටු සඳහා බලපත්‍ර ලබා දීමක් සිදු කර නොමැති අතර, ඒ හේතුවෙන් එය අනවසර ඉස්සන් වගාවක් බවට පරිවර්තනය වී ඇත.

(ආ)         (i)      නැත.

2019 වර්ෂයේ සිට බලපත්‍ර ලබා දීමක් සිදු නොකරන හෙයින් ඉස්සන් වගාව සිදු කරන ලද ඉස්සන් කොටු අතහැර දැමීමක් නිරීක්ෂණය වේ. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරන ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කරමින් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර, එසේ නැවත ප්‍රතිසංස්කරණය කරමින් තිබුණු කාසන්වත්ත ප්‍රදේශයේ එක් ඉස්සන් කොටුවක් සම්බන්ධයෙන් 2020.08.26 දින හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අංක බීආර්/1133/20 යටතේ කරුණු වාර්තා කර ඇත. ඉන්පසු එවැනි සිදුවීම් වාර්තා වී නොමැත.

(ii) ඔව්.

ආනවිලුන්දාව අභය භූමිය තුළ පිහිටි රජයේ ඉඩම්වල ඉස්සන් වගාව වැළැක්වීම සඳහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නියමිත පරිදි ක්‍රියාත්මක කරන ලෙස හා මුර සංචාර කටයුතු වැඩිදියුණු කරන ලෙස සියලු වනජීවී නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, පොලීසියේද සහාය ඒ සඳහා ලබාගෙන ඇත.

ඒ අනුව, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මෙවැනි අනවසර ඉස්සන් වගාව සිදු කළ ස්ථාන 33ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එක් ස්ථානයක් සඳහා නඩු පවරා ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks