පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
482/2020
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී තිබෙන බවත්;
(ii) ඒ හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට පවා දුෂ්කර වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) එම සේවකයන්ට අඩ වැටුප් සමඟ මාස තුනක් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේද;
(iii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-22
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
l කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා පිටත්ව යෑම අවහිර වීම මත කාර්යාංශයේ ආදායම ශීඝ්‍රයෙන් පහත වැටීම මෙම මූල්‍ය අර්බුදයට ප්‍රබලව බලපා ඇත. එසේම කාර්යාංශ පනතේ 51 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව ශ්‍රමිකයන් විදේශගත වීමේ දී අය කරන රු.17,500ක ලියා පදිංචි ගාස්තුව එහි ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත. තවද, කාර්යාංශය විසින් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීමෙන් උපයාගත් පොලී ආදායම පොලී අනුපාතය සියයට 12 සිට සියයට 5.6 තරම් අඩු මට්ටමකට පහත වැටීම හේතුවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණය අහිමි වීම මෙම අර්බුදය තව දුරටත් තීව්‍ර වීමට බලපා ඇත.
එසේම, agent commission වශයෙන් අපට ලැබෙන මුදල් 2018 වර්ෂයේ රුපියල් මිලියන 282යි; 2019 වර්ෂයේ රුපියල් මිලියන 240යි. 2020 වර්ෂයේ ලැබිලා තිබෙන්නේ රුපියල් මිලියන 20ක් පමණයි, ගරු මන්ත්‍රීතුමනි.
l කෙසේ වුවද, අනවශ්‍ය වියදම් කපා හැරීම, කුලී පදනමින් ගෙන ඇති ගොඩනැඟිලි සඳහා ගෙවන කුලී මුදල් අඩු කරගැනීමට පියවර ගැනීම මෙන්ම වෙනත් විකල්ප ස්ථාන වෙත අදාළ කාර්යාල හා පුහුණු මධ්‍යස්ථාන විතැන් කිරීම මඟින් වියදම් කළමනාකරණය කිරීම සහ සැපයුම්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීමේ දී දැඩි මූල්‍ය පාලනයකට අනුගතව එම වියදම් පියවා දැමීම යන ක්‍රියා මාර්ග අනුගමනය කිරීම තුළින් මෙම තත්ත්වය යම් දුරකට පාලනය කරගනිමින් පවතී. එසේම, අරමුදල් රැස් කරගැනීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇත.
ගරු මන්ත්‍රීතුමනි, උදාහරණයක් වශයෙන් Sri Lanka Bureau of Foreign Employment එකේ ආදායම ගෙන බලමු. 2015 වර්ෂයේ එය රුපියල් මිලියන 3,432යි. 2016 වර්ෂයේ රුපියල් මිලියන 3,974යි. 2017 වර්ෂයේ රුපියල් මිලියන 3,692යි. 2015 වර්ෂයේ රුපියල් මිලියන 4,471යි. 2019 වර්ෂයේ රුපියල් මිලියන 4,218යි. මේ වර්ෂයේ රුපියල් මිලියන 1,203යි.
ඔබතුමාට පෙනෙනවා ඇති කුමන ආකාරයකින් හෝ අපේ සෑම ප්‍රභවයකින්ම ලැබෙන ආදායම් අඩු වී තිබෙන බව. ඒ නිසා, අපට පඩි නඩි ගෙවා ගැනීම සඳහා මේ කියන ක්‍රමවේද අනුව යම් යම් කටයුතු කළත් අපට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව, අපට අකැමැත්තෙන් හෝ දැනට ස්ථිර තැන්පතුවල තිබෙන රුපියල් බිලියන 10න් රුපියල් මිලියන 894ක් අරගෙන, සේවකයන්ට පඩි-නඩි ගෙවන්න සිදු වුණා. කිසිම සේවකයකුට පඩි-නඩි ගෙවීමක් නොකර නැහැ.
(ii) පවත්නා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් මේ දක්වා නියමිත දිනට සේවක වැටුප් ගෙවා ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව 1,173ක් වේ.
(ii) කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය පසුබෑමකට ලක් වී ඇති බැවින් සහ දැනට දිවයින තුළ තැනින් තැන කොවිඩ් වසංගත තත්ත්වය නැවත පැතිරීමට ඇති ඉඩ ප්‍රස්ථා හේතුවෙන් ගමනාගමනයේදී පැනවී ඇති සීමා යනාදී කරුණු පිළිබඳ සැලකිල්ලට ගනිමින් අඩ වැටුප් ලබා ගැනීමට කැමැති - කැමැති අයට විතරයි, අකැමැති නම් අවශ්‍ය නැහැ- කාර්ය මණ්ඩල නිලධාරින් පිළිබඳව විමසීමක් කර ඇති අතර, එම යෝජනාවට කැමැත්ත පළ කළ නිලධාරින්ගේ අදහස්වලට ගරු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතී.
අපි කාටවත් බලෙන් අඩ වැටුපක් ලබා දීලා සේවය නතර කරන්න යන්නේ නැහැ. කෙසේ හෝ අපි කළමනාකරණය කරලා මේ වැඩකටයුතු කරනවා.
(iii) "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය අර්බුදය කළමනාකරණය කිරීම" යන මැයෙන් වූ අංක 43/2020 හා 2020.08.18 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාළව අංක අමප/20/1190/307/002 හා 2020.08.26 දිනැතිව ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
l විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනර්ථ වියදම් කපා හැරීම හා වියදම් කළමනාකරණය කර ගැනීම.
l නැවත දැනුම් දෙනතුරු කාර්යාංශයේ කිසිදු තනතුරකට නව බඳවා ගැනීම් සිදු නොකිරීමට වගබලා ගැනීම.
l වියදම් කළමනාකරණය කර ගැනීමේ එක් පියවරක් ලෙස දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ දූත මණ්ඩල සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි මට්ටමකට කාර්ය මණ්ඩල සීමා කර, අතිරික්ත කාර්ය මණ්ඩලය නැවත දිවයිනට ගෙන්වා ගැනීම සහ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී එකඟ වූ පරිදි තෝරා ගත් වැඩ කොටස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල අනෙකුත් කාර්ය මණ්ඩල වෙතින් ඉටු කරවා ගැනීම.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා, අපේ වැය ශීර්ෂවල වැඩිම මුදලක් යන්නේ විදේශ තානාපති කාර්යාලවල රඳවා සිටින නිලධාරින් සඳහා බව. විදේශ තානාපති කාර්යාලවල රඳවා සිටින මේ නිලධාරින් 121දෙනා සඳහා වර්ෂයකට රුපියල් මිලියන 930ක් යනවා. එය විශාල වැය බරක්. විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරින් යම් ප්‍රමාණයකුත් තානාපති කාර්යාල තුළ ඉන්නවා. අපි මූල්‍ය අර්බුදයට පැමිණ තිබෙන අවස්ථාවේදී, විදේශ තානාපති කාර්යාල තුළ සිටින කාර්ය මණ්ඩලවල සහාය ගැනීමටත් අප තීරණය කළා. ඒ සඳහා විදේශ කටයුතු ඇමතිතුමා අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුව, ඔවුන් සමඟත් සාකච්ඡා කරලා, ඒ වැඩ කටයුතු තාවකාලිකව කරගෙන යෑමේ වගකීම ඔවුන්ට පවරා දී, අපේ වැය බර අඩු කරගෙන තිබෙනවා.
l කාර්යාංශය මඟින් කුලියට ලබාගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබන තෝරාගත් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන හා කාර්යාල රජයේ ගොඩනැඟිලිවලට හෝ අඩු වියදම් විකල්ප ස්ථානවලට ගෙන යෑම.
l කාර්යාංශය සතු ගොඩනැඟිලි හා දේපළ ප්‍රශස්ත ලෙස උපයෝගි කර ගැනීම තුළින් අතිරේක ආදායම් උපයා ගැනීමට කටයුතු කිරීම.
l කාර්යාංශයේ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය සේවා සඳහා ගෙවීම් කිරීම සහතික කර ගනිමින් සෙසු වියදම් අවම කර ගැනීම.
ඒ වාගේම මේ කොවිඩ් වසංගතය පැවතියාට, අපි ජපානය, ඊශ්‍රායලය සහ කොරියාව වැනි රටවල් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ තත්ත්වය යටතේ යම් ප්‍රමාණයක් ශ්‍රමිකයන් ඒ රටවලට යැවීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. දැනට කොරියාවේ සිටින අපේ ශ්‍රමිකයන් 1,400ක් පමණ දෙනෙකුගේ කාලය අවසන්වෙලා තිබෙනවා. කොරියාවේ නීති-රීති අනුව අපි ඔවුන් ගෙන්වා ගත්තොත් පමණයි නැවත අපට ශ්‍රමිකයන් යවන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි විශේෂ ගුවන් යානා කිහිපයක් සූදානම් කරලා තිබුණත් කොවිඩ් - 19 දෙවෙනි රැල්ල නිසා අපට යම් ප්‍රමාදයක් වුණා. නමුත්, දැන් ඒ කටයුතු කරගෙන යනවා. කොරියාවෙන් අපේ අය ගෙන එනවා වාගේම, ආපහු යන ගුවන් ගමන්වලදී 90ක් පමණ පිරිසක්, හැම ගුවන් යානයකින්ම කොරියාවට යවනවා.
ගරු කථානායකතුමනි, ඒ වාගේම, ජපානය සමඟ සාකච්ඡා කළ නිසා දැන් වහලා තිබුණු visa centre එක ඇරලා තිබෙනවා. එම නිසා මේ අතරතුර ජපානයටත් ශ්‍රමිකයන් යැවීමේ වැඩ පිළිවෙළ කරගෙන යන්න පුළුවන්. ඒ ක්‍රමවේදය ශක්තිමත් කළොත් අපේ තිබෙන fixed deposits ප්‍රමාණය ආරක්ෂා කර ගන්න පුළුවන්. මම ඇමතිවරයා වශයෙන් කැමැති නැහැ, ඒ තිබෙන ස්ථාවර තැන්පත් අහිමි කර ගැනීමට. ඒ ස්ථාවර තැන්පත් ඒ ආයතනයේ අනාගත අභිවෘද්ධිය සඳහා පවත්වාගෙන යා යුතුයි. හැකි තරමින් ඒ ස්ථාවර තැන්පත් ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින්, අනවශ්‍ය වියදම් කපා හරිමින් වියදම් කළමනාකරණය කළ යුතුයි. ඒ වාගේම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිම සේවකයෙකුගේ රැකියා අහිමි නොකරමින් ගෙන යෑම තමයි අපේ බලාපොරොත්තුව.
(ඈ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2020-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks