01

E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0264/2021: විශ්වවිද්‍යාල විද්‍යායතන: පහසුකම් සැපයීම

264/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2008 අංක 31 දරන වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාල පනත අනුව විශ්වවිද්‍යාල විද්‍යායතන, උපාධි පිරිනමන ආයතන බවට පිළිගෙන ඇති බවත්;

             (ii)      එහෙත් දැනට මෙම ආයතන විසින් උපාධිය වෙනුවට උසස් ඩිප්ලෝමාවක් පමණක් ලබාදෙන වසර තුනක පාඨමාලා පවත්වන බවත්;

(iii) උපාධි පාඨමාලා පැවැත්වීම සඳහා අවශ්‍ය දේශන ශාලා, පුස්තකාල, කථිකාචාර්යවරුන් හා වෙනත් පහසුකම් මෙම ආයතනවල නොමැති බවත්;

(iv) මේ හේතුවෙන් අධ්‍යාපන කටයුතු සිදුකර අවසන් වූ හා දැනට අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසුන්ගේ අනාගතය අවිනිශ්චිත වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

(iii) එම ගැටලු විසඳීමට අපේක්ෂිත කාල වකවානු කවරේද;

යන්න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

                        විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවා ඇත්තේ, 2014 අංක 01 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන නියමාවලිය යටතේ 2014.10.01 දින සිට බලපැවැත්වෙන පරිදිය.

                        එහි අංක 4(අ) යටතේ විශ්වවිද්‍යාලය විසින් අනුමත කරනු ලබන අයුරින්, ජාතික වෘත්තීය සුදුසුකම් 5, 6 හා 7 මට්ටමේ පාඨමාලා සහ ඒ සමාන මට්ටම්වල වෙනත් තාක්ෂණවේදී පාඨමාලා මෙහෙයවීම සඳහා බලය තිබේ.

(ii) ඒ පිළිබඳව දැනුවත්.

මේ වනවිට විශ්වවිද්‍යාල විද්‍යායතන මඟින් NVQ 5 සහ NVQ 6 යන උසස් ඩිප්ලෝමා  පිරිනමනු ලැබේ. එම ඩිප්ලෝමා  කිසි විටෙකත් උපාධිය වෙනුවට ලබා දෙන ඩිප්ලෝමා නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය මධ්‍යම මට්ටමේ ඩිප්ලෝමාධාරින්ගේ හිඟය හේතු කොටගෙන විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවූවා මිස ශ්‍රී ලංකාවේ බිහි වන උපාධිධාරින් සංඛ්‍යාවේ හිඟයක් හේතු කොටගෙන විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවා නැත.

එමෙන්ම, NVQ 5 සහ NVQ 6  සම්පූර්ණ කර ඇති ඕනෑම ශිෂ්‍යයෙකු හට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයදුම් කර NVQ 7 ලබා ගැනීමේ අවස්ථාව මේ වන විටත් ලබා දී ඇති බැවින් විශ්වවිද්‍යාල විද්‍යායතන මඟින් උපාධි පිරිනැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මේ වනවිට හඳුනා ගෙන ඇත.

(iii) ඒ පිළිබඳව දැනුවත්.

උපාධි පිරිනමන ආයතන අනුමත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති නිර්ණායක සම්පූර්ණ කිරීමට අවශ්‍ය තරම් මානව හා භෞතික සම්පත් මෙකී විශ්වවිද්‍යාල විද්‍යායතන සතු නොවේ. මේ වනවිට මෙම විද්‍යායතනවලින් ඩිප්ලෝමා හදාරා අවසන් කර ඇති ශිෂ්‍යශිෂ්‍යාවන් රැකියා නියුක්තිකයන් හෝ ව්‍යවසායකයන් ලෙස කටයුතු කරන අතර රැකියා විරහිත ලෙස වාර්තා වී නොමැත.

(iv)  සිසුන්ගේ අනාගතය අවිනිශ්චිත වී නොමැත.

NVQ 5 සහ NVQ 6  යන උසස් ඩිප්ලෝමා  පවත්වාගෙන යෑම මඟින් වෘත්තීය නිපුණතාවෙන් හා මනා දැනුමෙන් හෙබි සිසුන් ප්‍රජාවක් මේ වනවිට ශ්‍රම වෙළෙඳ පොළට සාර්ථකව මුදා හැර ඇති අතර, ඉන් බොහෝ පිරිස් මේ වනවිට රැකියා නියුක්තිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

එක් එක් විශ්වවිද්‍යාල විද්‍යායතනවල මේ වනවිට බිහි වී ඇති ඩිප්ලෝමාධාරින් සංඛ්‍යාව මේ සමඟ අමුණා ඇත. (ඇමුණුම 01)

ඇමුණුම සභාගත* කරමි.

මේ මොහොතේ වෘත්තීය විශ්වවිද්‍යාලය මඟින් උපාධි ප්‍රදානය කරමින් පවතිනවා. ඒ විද්‍යායතනවල NVQ 5 සහ NVQ 6 පාඨමාලා සම්පූර්ණ කරන දරුවන්ට NVQ 7 පාඨමාලාව එහෙම නැත්නම් උපාධි මට්ටම ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත් ඒ සඳහා සිසුන් තවමත් ඉල්ලීමක් කර නැහැ. නමුත් ඉල්ලන සියලු සිසුන්ට ඒ අවස්ථාව අපි  ලබා දෙනවා. ඊට අමතරව NVQ 5 සහ NVQ 6 සම්පූර්ණ කර ඇති ඕනෑම දරුවකුට රැකියා අවස්ථා තිබෙන නිසා ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත වී නොමැත.

 

(ආ) (i)  NVQ 5 සහ NVQ 6 සම්පූර්ණ කර ඇති ඕනෑම ශිෂ්‍යයෙකු හට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයදුම් කර NVQ 7 ලබා ගැනීමේ අවස්ථාව මේ වනවිටත් ලබා දී ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල විද්‍යායතන මඟින් උපාධි පිරිනැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඉහත සඳහන් පරිදි ගැටලු සහගත තත්ත්වයක් පැන නොනඟී.

තවද, ගරු ජනාධිපතිතුමන්ගේ "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව නාගරික විශ්වවිද්‍යාල (City Universities) 10ක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින හෙයින් විශ්වවිද්‍යාල විද්‍යායතන තුළින් උපාධි ලබා දීමේ අවශ්‍යතාව කිසිසේත්ම පැන නොනඟී.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks