E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0165/2020: Cultural center for Kolonnawa electoral district

165/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බහුජාතික, බහුආගමික ජනතාවක් ජීවත් වන කොළොන්නාව ප්‍රදේශයේ තරුණ ප්‍රජාව හා පාසල් අධ්‍යාපනය ලබන දරුවන්, සංස්කෘතික, ආගමික හා සාරධර්මවලින් සපිරි පරපුරක් ලෙස සමාජයට දායාද කිරීමේ අරමුණින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම අත්‍යවශ්‍ය හා යෝග්‍ය කරුණක් බවත්; (ii) එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා පසුගිය කාලයේදී එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ බවත්; (iii) ඊට අදාළ ප්‍රතිපාදනද වෙන් කරවා ගැනීම ද සිදු වූ බවත්; (iv) නමුත්, එම ව්‍යාපෘතිය ඉන් ඉදිරියට ක්‍රියාත්මක වී නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. කොළොන්නාව ප්‍රදේශය යනු, විවිධ ආගමිකයන් සහ විවිධ ජාතීන් වෙසෙන ප්‍රදේශයක් වන හෙයින් නව සංස්කෘතික මධ්‍යස්ථානයක අවශ්‍යතාව පෙනී යනවා. ඉදිරියේදී එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම යෝග්‍ය බව යෝජනා කරනවා.

              (ii)      මේ සඳහා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇත. නමුත්, පසුව මෙම ඉඩම ගංවතුර හේතුවෙන් අඩි 7ක් පමණ යට වන භූමියක් වන නිසා සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු නවතා ඇත.

(iii) ඔව්. මෙම ඉදිකිරීම සඳහා රුපියල් මිලියනයක මුදල් ප්‍රතිපාදනයක් ඒ වන විට වෙන් කර තිබුණි.

(iv) ඔව්. මේ සඳහා සුදුසු ඉඩමක් යෝජනා වී නොමැත.

(ආ) ඔව්. නව ඉදි කිරීම් සිදු කිරීම වසර තුනක් යනතෙක් අත් හිටුවීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. අදාළ චක්‍රලේඛ සංශෝධනය වීමෙන් පසු හා ඉඩම් අමාත්‍යාංශය වෙත එම ඉඩම පවරා ගැනීමෙන් පසු ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ හැක. (අංක 05/2020 දරන ජාතික අය වැය චක්‍රලේඛය ඇමුණුමක් වශයෙන් සභාගත* කරමි.)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks