02

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0126/2020: මුලතිව් දිස්ත්‍රික්කයේ නංජුන්ඩාන් වැව: ප්‍රතිසංස්කරණය

126/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිවු දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ප්‍රධාන වැව් අතරින් එකක් වන නංජුන්ඩාන්කුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය රජය විසින් අනුමතිය ලබාදී, එයට මිලියන 40ක මුදල් ප්‍රතිපාදන ද වෙන්කරන ලද නමුත්, අඛණ්ඩව ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සිදුනොකර ප්‍රතිපාදන ආපසු යවා ඇති බවත්;

  (ii) මෙම වැව යටතේ බොහෝ කුඹුරු හා ගොඩඉඩම් තිබෙන අතර ග්‍රාමීය ජනතාව තම ජීවනෝපාය සඳහා මෙම වැව කෙරේ විශ්වාසය තබාගෙන ඇති බවත්;

(iii) නංජුන්ඩාන්කුලම් වැව් බැම්මේ තිබෙන අනවශ්‍ය ගස් කපා ඉවත් කිරීම සඳහා දැව සංස්ථාවට අනුමතිය ලබා දී ඇතත්, ප්‍රවාහනය සඳහා මාර්ගය අබලන් වී ඇති බැවින් මෙතෙක් එය ක්‍රියාත්මක වී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, මෙම නංජුන්ඩාන්කුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු සඳහා මුදල් වෙන්කරන දිනය කවරේද;

(ii) ප්‍රවාහනය සඳහා මාර්ගය පිළිසකර කර, ඉහත වැව ප්‍රතිසංස්කරණයට අදාළ වැඩ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රතිපාදන ආපසු හරවා යවා නොමැත.  මෙම ව්‍යාපෘතිය සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඇතුළු අදාළ නිලධාරින් විසින් සිදුකර ඇති අතර එම අධ්‍යයන වාර්තාවට     අනුව එම වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී ලොකු කුඩා ගස් 1,200ක් පමණ කපා ඉවත් කිරීමට සිදු වන බව හඳුනාගෙන ඇත. එම ගස් ඉවත් කිරීම මඟින් සිදුවන පාරිසරික බලපෑම මත අදාළ ආයතන මඟින් එම ගස් ඉවත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අපහසු වී ඇත. එබැවින් ගරු මන්ත්‍රීතුමාගේ ඉල්ලීම මත වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 40ක මුදල යොදවා මාර්ග සංවර්ධන ව්‍යාපෘති 4ක් සිදු කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු කර ඇත.

(ii) සෞභාග්‍යයේ දැක්මෙහි දක්වා ඇති පරිදි, තාක්ෂණය හා මුසුවන අපේ ගොවිතැන හා තිරසර පරිසරය යන ප්‍රතිපත්ති පදනම් කරගෙන මේ සඳහා සුදුසු ක්‍රමවේද අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම වැව ප්‍රතිසංස්කරණය  කළ යුතු බැවින්, ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත යොමු කිරීම සිදු කළ යුතු බව දන්වා සිටිමි.

(iii) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.

(ආ) (i) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.

(ii) ඉහත (අ) (i) පිළිතුර අනුව අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2020-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks