01

E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0108/2020: ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ බෙදා හැරීම: විස්තර

108/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ පෝෂණ අතිරේකය ප්‍රමාණවත් හා විධිමත් පරිදි නොලැබෙන බවත්; (ii) ළමා මන්දපෝෂණය සැලකිය යුතු මට්ටමක පැවතීමට මෙම තත්වයද එක් හේතුවක් බවත්; (iii) ඒ හේතුවෙන්, දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් දැඩි අපහසුතාවයට පත්වන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) දැනට වාර්ෂික ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාවය කිලෝග්‍රෑම් කොපමණද; (ii) පරිභෝජනය සඳහා වර්ෂයකට අවශ්‍ය ත්‍රිපෝෂ කිලෝග්‍රෑම් ප්‍රමාණය කොපමණද යන්න ගණනය කර තිබේද; (iii) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි ත්‍රිපෝෂ නිෂ්පාදනයට පියවර ගන්නේද; (ii) එසේ නම්, ඒ කුමන ආකාරයෙන්ද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ පෝෂණ අතිරේකය ප්‍රමාණවත් හා විධිමත් පරිදි ලබාදෙනු ලැබේ.

              (ii)      ළමා මන්දපෝෂණය මසකට ත්‍රිපෝෂ පැකට් දෙකක් ලබා දීමෙන් දුරු කිරීමට නොහැකි අතර ඒ සඳහා ප්‍රධාන ආහාර වේල් තුන සමබල ආහාර වේල් ලෙස දෛනිකව ලබාගත යුතු වේ. තවද, මෙය ප්‍රධාන ආහාරවේල්වලට අමතරව ලබා දෙන අතිරේක ආහාරයක් වන බැවින්, දිනකට ත්‍රිපෝෂ ග්‍රෑම් 50 බැගින් දින 30ක් මෙම ග්‍රෑම් 750 පැකට් දෙක ආහාරයට ගත යුතු අතර, එය ප්‍රායෝගිකව සිදු නොවන්නකි.

(iii) නැත. ත්‍රිපෝෂ අඩු ආදායම්ලාභින් පදනම් කරගෙන ලබා දෙන්නක් නොවේ. මෙම අතිරේක ආහාරය සියලු  ගර්භනී මව්වරුන්, සියලු  කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් වනතුරු) සහ අඩු බරින් පෙළෙන මාස 6 සිට අවුරුදු 05 දක්වා දරුවන්ට ලබා දේ.  අදාළ චක්‍රලේඛය ඇමුණුම මඟින් දක්වා ඇත. 

ඇමුණුම සභාගත* කරමි.

 

(ආ) (i) වාර්ෂික ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව කිලෝග්‍රෑම් 31,104,000කි.

(ii) ඔව්. වර්ෂයකට අවශ්‍ය ත්‍රිපෝෂ කිලෝග්‍රෑම් ප්‍රමාණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙතින් ගණනය කරනු ලැබේ.

(iii) ඔව්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇති දත්තවලට අනුව 2021 වර්ෂයට අවශ්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 14,580ක් පමණ වේ. (කිලෝග්‍රෑම් එක්කෝටි හතලිස්පන්ලක්ෂ අසූදහසකි.)  

(ඇ) (i) ඔව්. රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි ත්‍රිපෝෂ නිෂ්පාදනයට පියවර ගෙන තිබේ.

(ii) ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සපයාගෙන ඇති අතර, අවශ්‍ය අමුද්‍රව්‍ය වන සෝයා බෝංචි, බඩඉරිඟු ගබඩා කිරීමට ගබඩා පහසුකම් සපයා ගැනීමට සැලසුම් කර ඇත. එසේම මෙවර අය වැය මඟින් ද ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇත. 

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks