බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0100/2020: පොලිස් නඩු මෙහෙයවීමේ නිලධාරි නව තනතුරක් ස්ථාපිත කිරීම: ගත හැකි ක්‍රියාමාර්ග

100/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ජනතාවගේ නීති ගැටලු කඩිනමින් විසඳීමටත්, නීති උපදෙස් ලබා ගැනීමටත්, එක් මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයක් සඳහා අවම වශයෙන් එක් නීතීඥ වෘත්තිකයෙකු, පොලිස් නඩු මෙහෙයවීමේ නිලධාරී (prosecutor) ලෙස අදාළ බල ප්‍රදේශය වෙනුවෙන් පත් කිරීම තුළින් ශ්‍රී ලංකා පොලීසියෙන් සේවය ලබා ගන්නා ජනතාවට විශාල සේවයක් සිදු වන බව එතුමා පිළිගන්නෙහිද; (ආ) (i) උක්ත නව තනතුර ස්ථාපිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමේ හැකියාවක් තිබේද; (iii) එසේ නම්, එම අදාළ ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       පිළිගන්නවා.

           අපරාධ නඩු විධාන සංග්‍රහයේ (191 වගන්තිය) විධිවිධාන අනුව,

           "නීතිපතිවරයාට, සොලිසිටර් ජනරාල්වරයාට, රජයේ නීතිඥවර‍යකුට හෝ නීතිපතිවරයා විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් බලය දෙනු ලබන උත්තරවාදියකුට (2) වන උපවගන්තියේ විධි විධානවලට යටත්ව මේ පරිච්ඡේදය යටතේ විභාග කරනු ලබන යම් නඩුවකදී පෙනී සිට චෝදනාව මෙහෙයවීමට හිමිකම් තිබිය යුතුයි. එහෙත් නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා, රජයේ නීතිඥවරයකු හෝ පෙර කී පරිදි යම් උත්තරවාදියකු නොමැති විට චෝදනාකරු විසින් හෝ ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක යම් නිලධරයකු විසින් හෝ යම් මහ නගර සභාවක, නගර සභාවක හෝ සුළු නගර සභාවක යම් නිලධරයකු විසින්, එම චෝදනාකරු හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව හෝ මහ නගර සභාව සම්බන්ධතාවක් දක්වන යම් නඩුවක චෝදනාව මෙහෙයවීම පිණිස පෞද්ගලිකව‍ හෝ උත්තරවාදියකු මගින් හෝ පෙනී සිටිය හැකිය.

එ‍සේ වුවද, නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා, රජයේ නීතිඥවරයකු හෝ නීතිපතිවරයා විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂ බලය දෙනු ලැබූ උත්තරවාදියකු පැමිණ නොමැති විටක මහෙස්ත්‍රාත්වරයා විසින් චෝදනාකරු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටින අවස්ථාවක, චූදිතයා විසින් වරද සිදු කරන ලදැයි කියනු ලබන යම් තැනැත්තෙකුට විරුද්ධව, නැතහොත් යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා වෙනුවෙන් පෙනී සිට චෝදනාව මෙහෙයවීම පිණිස යම් නීතිඥවරයෙකුට අවසර දෙනු ලැබිය හැකිය."

ඒ අනුව අපරාධ නඩුවක් මෙහෙයවීම සඳහා සාමාන්‍ය නීතිඥ වෘත්තිකයෙකුට හැකියාවක් නොමැති අතර, නීතිපතිවරයා විසින් බලය ලබා දෙන්නේ නම් පමණක් එසේ සිදු කිරීමට හැකියාවක් ඇත. කෙසේ වෙතත්, දැනට මහෙස්ත්‍රාත් අධිකරණ තුළ පැමිණිල්ල මෙහෙයවීමේ කාර්යය සිදු කරනු ලබන්නේ නඩු මෙහෙයවනු ලබන පොලිස් නිලධාරියා විසිනි. එසේ වුවද, යම් සංකීර්ණමය, නීතිමය හා සිද්ධිමය කරුණු උද්ගත වන අවස්ථාවලදී රජයේ අධිනීතිඥවරයෙකු පත් කිරීම සඳහා ඉල්ලීමක් කරනු ලැබුවහොත්, අවස්ථාවෝචිත පරිදි රජයේ අධිනීතිඥවරයෙකුගේ සහාය ලබා දීමට කටයුතු කරන අතර, ඔහු විසින් පැමිණිල්ල මෙහෙයවන අවස්ථා ඇත.

(ආ) (i)    මේ තිබෙන සම්පත් එක්ක එවැනි තනතුරක් පත් කිරීමේ හැකියාවක් නැහැ කියන එක තමයි ඒ කරුණුවලින් කියන්නේ, ගරු මන්ත්‍රීතුමනි.

(ii)   යටතේ අසා තිබෙනවා, මේ සම්බන්ධයෙන් අපි අරගෙන තිබෙන පියවර මොකක්ද කියලා. ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමනි, මම මුලින්ම ඔබතුමාගෙන් සමාව භජනය කරනවා. මොකද, ඔබතුමා මේ ප්‍රශ්නය මේ ගරු සභාවේදී දෙවතාවක් ඇසුවා. ඒ දෙවතාවේම  පිළිතුරු ලබා දෙන්න මට කල් ගන්න සිද්ධ වුණා. ඔබතුමා අසා තිබෙන ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ගරු නීතිපතිතුමාට සහ පොලීස්පතිතුමාට ලියලා එතුමන්ලා මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලාත් අහලා තිබෙනවා. ගරු කථානායකතුමනි, ඒ පිළිතුරු ලිපි දෙකත් මම සභාගත* කරනවා.

ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමනි, ඔබතුමාටත් මේ ලිපිවල පිටපත් ලබා දෙන්නම්.

ඒ අනුව, ගරු නීතිපතිවරයා කියා තිබෙනවා, මීට පෙර "non-summary" කියලා lawyersලා පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරලා, තෝරාගත් මහෙස්ත්‍රාත් අධිකරණවලදී පැමිණිල්ල මෙහෙයවීම සඳහා ඔවුන් යොදවාගෙන තිබුණා කියා. එවැනි ක්‍රමවේදයක් 2000 අවුරුද්දේ මුල් කාලයේ වාගේ තිබුණා. නමුත්, ඊට පස්සේ ප්‍රතිපාදන අඩු වීම මත ඒක අතහැර දමා තිබුණා. දැන් එතුමා යෝජනා කරන්නේ, එක්කෝ එම ක්‍රමවේදයයි; එහෙම නැත්නම්, ඊට විකල්ප වශයෙන් යෝජනා කරන්නේ, පොලීසියට නීතිඥ මහත්වරුන් බඳවාගෙන නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ඔවුන් හරහා පැමිණිල්ල මෙහෙයවිය යුතුයි කියන එකයි. පොලිස්පතිතුමාත් කියා තිබෙන්නේ, එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න එතුමා බලාපොරොත්තු වන බවයි.

ගරු මන්ත්‍රීතුමනි, මෙම ප්‍රශ්නය ඇසීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වනවා. මෙය ඉතා කාලෝචිත, වැදගත් පියවරක්. ප්‍රජාපාදක පොලීසියක් නිර්මාණය කිරීම -community policing- සඳහා සහ වඩාත් ගුණාත්මක සේවයක් සැපයීම සඳහා නීතිඥවරුන් මෙයට සම්බන්ධ කරගැනීමේ ක්‍රමවේදය සකස් කරමින් යනවා. අතිගරු ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කියා තිබෙනවා. මම ඊයේත් සාකච්ඡාවක් කළා, ගරු සරත් වීරසේකර රාජ්‍ය ඇමතිතුමාත් එක්ක. අපේ අදහස වෙලා තිබෙන්නේත්, නීතිඥවරුන් බඳවාගැනීමේ කිසිදු වරදක් නැහැ කියන එකයි. නමුත් ඒ බඳවාගැනීමේ පටිපාටිය ආදි සියල්ල ගරු නීතිපතිතුමාගේ උපදෙස් හා අනුශාසනා යටතේ අමාත්‍යාංශය හා පොලිස්පතිතුමා හරහා සිද්ධ වෙයි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks