01

E   |   த   |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0063/2020: මත්ද්‍රව්‍ය වැටලීම්: විස්තර

63/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015 වර්ෂයේ සිට මේ වනතෙක් සිදු කරන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව කොපමණද; (ii) එමගින්, අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එසේ අත්අඩංගුවටගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හරහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට නැවත පත්වී ඇති බව එතුමා දන්නෙහිද? (ඇ) ඒ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015.01.01 සිට 2020.09.18 දින දක්වා සිදු කරන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධව වැටලීම් සංඛ්‍යාව 475,985කි. (හාරලක්ෂ හැත්තෑපන්දහස් නවසිය අසූපහයි)

              (ii)      එම වැටලීම් මඟින් අත් අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් හතළිස් හයදහස් අටසිය විසිහතරයි ග්‍රෑම් අටසිය දහහතයි. (46,824.817 kg)

(ආ)     ඔව්.

වැටලීම්වලදී අත් අඩංගුවට ගෙන ඇති නීති විරෝධි මත්ද්‍රව්‍ය මුද්‍රා තබන ලද අවස්ථාවලදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවලින් යම් ප්‍රමාණයක් ඉවත් කර, එසේ ඉවත් කරන ගන්නා ලද ප්‍රමාණයට ආගන්තුක ද්‍රව්‍ය එක්කර, ඉවත් කර ගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබා දී මුදල් උපයා ගෙන ඇති බවට කරුණු අනාවරණ  වී ඇත.

(ඇ) ඔව්.

විමර්ශනවලදී අනාවරණ  වූ කරුණු අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් නිලධාරින් 18දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක් අයෙකු හා සිවිල් පුද්ගලයන් 06දෙනෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත. එම පොලිස් නිලධාරින් අතුරින් 13දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. සෙසු පොලිස් නිලධාරින් 06ක් සහ සිවිල් පුද්ගලයන් 06ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි. එහිදී, සැකකරුවන්ගෙන් අනාවරණ  කර ගන්නා ලද තොරතුරු අනුව පහත සඳහන් දෑ අත් අඩංගුවට ගෙන ඇත.

1. T56 වර්ගයේ ගිනි අවි 02ක් සහ එම මැගසින් 05ක්

2. T56 වර්ගයේ ජීව උණ්ඩ 81ක්

3. පිස්තෝල 03ක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 40ක්

4. හෙරොයින් කි.ග්‍රෑ. 11.888 මි.ග්‍රෑ.256ක්

5. ඉලෙක්ට්‍රොනික් තරාදි 02ක්

6. මුදල් රුපියල් 34,017,130.00ක්

7. රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 32ක්

8. කොකේන් මි.ග්‍රෑ. 380ක්

අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති රුපියල් 191,627,834.00ක් වටිනා වාහන සහ දේපළ තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

(ඈ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2020-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks