පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
62/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015 වර්ෂයේ සිට මේ වනතෙක් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභ/අලාභ වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද; (ii) එම කාලසීමාව තුළ යම් අලාභයක් ලැබුවේ නම්, ඒ සඳහා බලපෑ සාධක කවරේද; (iii) ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
සම්පූර්ණ වාර්ෂික ලාභය/(අලාභය) |
|
2015 |
20,300,161 |
|
2016 |
14,456,700 |
|
2017 |
47,581,012 |
|
2018 |
31,936,855 |
|
2019 |
85,411,897 |
(ii) සාධක කිහිපයක් තිබෙනවා.
* දිගු කාලීන ජනන සැලැස්ම අනුව විදුලි ජනන ව්‍යාපෘති කාලීනව සිදු නොවීම.
ගරු කථානායකතුමනි, 2013 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නොරොච්චෝලේ මෙගා වොට් 600ක ලක්විජය බලාගාරය විවෘත කළාට පස්සේ අවුරුදු 7ක් තුළ මේ දක්වා ජාතික පද්ධතියට ප්‍රධාන බලාගාරයක් එකතුවෙලා නැහැ. මෙයට ප්‍රධාන හේතුවක් තමයි, ඒ ජනන සැලැස්මෙන් බාහිරව ගිහින් වෙනත් වෙනත් ව්‍යාපෘතිවලට හැරුණා මිසක් ප්‍රධාන බලාගාරයක් අපට ලැබුණේ නැති එක.
* පිරිවැය අධික බලශක්ති ප්‍රභව මඟින් ජනන පිරිවැය ඉහළ යෑම සහ ඉහළ යන පිරිවැයට සමගාමීව වෙනස් නොවන විදුලි ගාස්තු අය ක්‍රමයකින් සමන්විත වීම මෙම ආදායම හා වියදම අතර පරතරයට හේතු වේ.
ගරු කථානායකතුමනි, උදාහරණයක් වශයෙන්, අපේ මුළු විදුලිය ජනනයෙන් සියයට 32ක් පමණ ඩීසල් මත පදනම්වෙලා තිබෙනවා. එය අතිවිශාල මුදලක්. පසුගිය වසර දිහා බැලුවොත්, ඩීසල් හරහා විදුලිය ජනනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 100කට වඩා වැඩි මුදලක් ඒ වෙනුවෙන් දහනය කරලා තිබෙනවා.
* දළ වශයෙන් ගත් කල විදුලි ඒකකයක් ජනනය සඳහා සාමාන්‍යයෙන් රුපියල් 23.29ක් වැයවන අතර අය ක්‍රමය අනුව ඒකකයකට අය වන සාමාන්‍ය මිල රුපියල් 16.63කි. (2019 වර්ෂයට අනුව)
* අවසන් විදුලි ගාස්තු සශෝධනය (අඩු කිරීම) 2013 වර්ෂයේ සිදු වූ අතර එතැන් සිට කිසිදු ගාස්තු සංශෝධනයක් සිදු නොවීම.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නොරොච්චෝලේ බලාගාරය ජනතා අයිතියට පවරා, ඒකකයක මිල ඉතාම අඩු මිලක් සහිතව විදුලි බිල ගාස්තුව සියයට 25කින් අඩු කළා. ඒ තුළින් ජනතාවට විශාල සහනයක් දුන්නා. එය තමයි අවසාන වශයෙන් සංශෝධනය වෙලා තිබෙන්නේ.
* පවතින ස්ථාවර ගාස්තු අය ක්‍රම සහ භාණ්ඩවල මිල ඉහළ යෑම සමඟ ඒකක පිරිවැය හා ඒකක පාඩුව ක්‍රමයෙන් ඉහළ යෑම.
* බොහෝ ක්‍රියාකාරකම් කොන්ත්‍රාත් පදනමින් බාහිර පාර්ශ්වයන්ට පැවරීම සහ ඊට සමාන්තරව විශාල සේවක සංඛ්‍යාවක් ලංකා විදුලිබල මණ්ඩලයට බඳවා ගැනීම.
ගරු කථානායකතුමනි, විදුලි මාර්ගවල තිබෙන අතු කැපීම් වැනි දේවල් බාහිර පාර්ශ්වයන්ට පැවරීමේ කටයුතු ආරම්භ කළා. කියන්න කනගාටුයි, පසුගිය කාලවලදී විදුලිය විසන්ධි කිරීම හා සම්බන්ධතාව ලබාදීම පවා බාහිර පාර්ශ්වයන්ට පවරා- outsource කර - තිබෙනවා. එහි ප්‍රධාන ගැටලුව වන්නේ, ඒ කටයුතු බාහිර පාර්ශ්වයන්ට පවරන අතරේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව අසීමිතව ඉහළ ගිහින් තිබෙන එක. Outsource කරන්න පටන් ගන්නකොට ලංකා විදුලිබල මණ්ඩලයේ 16,000ක් හිටපු සේවක සංඛ්‍යාව, සියලු දේවල් outsource කළාට පස්සේ 26,000ක් බවට පත්වෙලා තිබෙනවා. මෙය ප්‍රධාන හේතුවක්.
* බලශක්ති සංරක්ෂණය පිළිබඳ දියුණු විද්‍යාත්මක ප්‍රායෝගික වැඩ පිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක නොවීම.
මේවා තමයි ප්‍රධාන කාරණා. තවත් කුඩා කාරණා ඇති.
පුනර්ජනනීය බලශක්ති ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති විභව බවට පත් කිරීම. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩි වශයෙන් විදුලි ජනනය පද්ධතියට එකතු කර ගැනීම හා එහිදී තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කිරීම තුළින් විදුලි ජනනය සඳහා යන වියදම අඩු කර ගැනීම.
තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමයක් අනුගමනය නොකර අපි සූර්යබලයෙන් ලබා ගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 23.10ක් ගෙවපු එක අපි අවසාන වශයෙන් තරගකාරී ක්‍රමයකට යන්න පටන් ගත්තාම ඒකකයක් රුපියල් 10කට, රුපියල් 11කට වාගේ ඉතාම අඩු මුදලකට ආවා. ඒක අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිරවුල්ව සඳහන් වන දෙයක් ගරු කථානායකතුමනි.
(iii) 1. බලශක්ති විවිධාංගීකරණය යටතේ මෙරටට ස්වාභාවික ද්‍රව වායු බලාගාර -LNG- හඳුන්වාදීම සඳහා පියවර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩි වශයෙන් විදුලි ජනන පද්ධතියට එකතු කර ගැනීම සහ එහිදී තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය තුළින් විදුලි ජනනය සඳහා යන වියදම අඩු කර ගැනීම.
ගරු මන්ත්‍රීතුමනි, LNG ගැන ලංකාවේ සාකච්ඡා වෙන්නේ 2007 ඉඳලායි. හැබැයි, තවමත් එක බලාගාරයක්වත් ගෙනෙන්න බැරි වුණා. අපි ඩීසල්වලින් අවම වශයෙන් ඒකකයකට රුපියල් 30ක්,-[බාධා කිරීමක්] මම ඒ ගැන කථා කරන්නම්. මම මේ කියන්නේ LNG ගැනයි. අපි විදුලි පද්ධතියට LNG එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට සති දෙකකට කලින් අපි කැබිනට් මණ්ඩල අනුමැතියක් ගත්තා, විදුලිබල මණ්ඩලය යටතේ කෙරවලපිටියේ මෙගාවොට් 300කට. මීට පෙර යුගදනවි බලාගාරයේ LNG බලාගාරයක් පිහිටුවන්න කැබිනට් මණ්ඩල අනුමැතියක් අරගෙන තිබෙනවා. එය විදුලිබල මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක්. අපි ඉදිරි අවුරුදු තුන ඇතුළත LNGවලින් මෙගාවොට් 600ක් අපේ විදුලිබල පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.
2. අපේ පද්ධතියේ විදුලි හානිය තවදුරටත් අවම කර ගැනීමට කටයුතු කිරීම.
ගරු කථානායකතුමනි, සාමාන්‍යයෙන් අපේ රටේ විදුලිය ජනනය කරපු තැන ඉඳලා ගෙදර මීටරේ දක්වා එනකොට බොහෝ වෙලාවට සියයට 8ක්, 10ක් අතර ප්‍රමාණයක් විදුලිය අපතේ ගිහිල්ලා තිබෙනවා. දියුණු වෙමින් පවත්නා රටක් වන අපට මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. නමුත්, අලාභය අතින් ගත්තාම ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව අපි හොඳ තැනක ඉන්නේ. ඒ අලාභය මීට වඩා අඩු කර ගන්න පුළුවන් කියන විශ්වාසය අප තුළ, අමාත්‍යාංශය තුළ, ලංකා විදුලිබල මණ්ඩලය තුළ තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, අපේ ජාතික පද්ධතියට ඩීසල් මත විදුලිය ජනනය කිරීම සියයට 32ක් කියලා මම මුලින් ඔබතුමාට කිව්වා. 2025 වනකොට එය සියයට 5 දක්වා අඩු තැනක තියා ගන්න අපි බලාපොරොත්තු වනවා. ඒක තමයි අපේ ඉලක්කය; රජයේ ඉලක්කය. මේ කාරණා හරහා ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා, මා විශ්වාස කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks