01

E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0052/2020: කොවිඩ්-19 නිසා පීඩාවට පත් විදේශගත ශ්‍රමිකයන්: සුබසාධනය

52/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ‍කොපමණද;

             (ii)       එම ශ්‍රමිකයන් සේවයේ නියුතු රටවල්වල නම් වෙන් වෙන් ව‍ශයෙන් කවරේද;

           (iii)       එම එක් එක් රටේ සේවයේ නියුතු ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) (i) කොවිඩ් - 19 වසංගතය නිසා පීඩාවට පත් වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා  අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

(ii) ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව, 2020.11.13 දිනට විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව 816,433ක් වේ.

              (ii)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව, 2020.11.13 දිනට එම ශ්‍රමිකයන් සේවයේ නියුතු රටවල නම් ඇමුණුම 01හි දැක්වේ.

(iii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වී ඇති පුද්ගලයන්ගේ දත්ත සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන දත්ත ගැළපීම අනුව, 2020.11.13 දිනට එක් එක් රටේ සේවයේ නියුතු ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 01හි දැක්වේ. (ඇමුණුම 01 සභාගත* කරමි.)

(ආ) (i) l කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආහාර පාන හා ඉඳුම් හිටුම් නොමැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වියළි ආහාර සලාක, මූලික වෛද්‍ය පහසුකම්, මුහුණු ආවරණ, විෂබීජ නාශක දියර හා තාවකාලික නවාතැන් පහසුකම් සපයා දීමට අවශ්‍ය කටයුතු විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එකතු වී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සපයා දී ඇත.

l කාර්යාංශයේ ලියා පදිංචි වී සිටින ශ්‍රමිකයන්ගෙන්, ලියා පදිංචිය වලංගුව පැවති කාලය තුළ කොවිඩ්-19 රෝගය වැලඳීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය කාර්යාංශය විසින් ලබා දේ.

විස්තරය

ප්‍රමාණය

මුදල

කොවිඩ් - 19 රෝගය වැලඳීම හේතුවෙන් කාර්යාංශය වෙත ඉදිරිපත් වී ඇති වෛද්‍ය ප්‍රතිකාර හා ගුවන් ටිකට්පත් වියදම් ඉල්ලීම්

102

රක්ෂණ සංස්ථාව වෙතින් වන්දි මුදල් ලැබීමට නියමිතය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මුදල් අනුමත කර, කාර්යාංශය වෙත මේ දක්වා ලබා දී ඇති චෙක්පත් සංඛ්‍යාව

49

රු. 2,308,828.00

l කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති සහ එහි වලංගු කාල සීමාව ඇතුළත අදාළ ශ්‍රමිකයා කොවිඩ් - 19 රෝගය වැලඳීම හේතුවෙන් මරණයට පත් වුවහොත් ශ්‍රමිකයාගේ උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා කාර්යාංශය මැදිහත් වී අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

l කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති කාලයට ඇතුළත් විදේශගත ශ්‍රමිකයන් 68 දෙනෙකු කොවිඩ්- 19 රෝගය වැලඳීම හේතුවෙන් මරණයට පත් වී ඇත. ඔවුන්ගේ යැපෙන්නන් සඳහා පහත පරිදි මරණ වන්දි මුදල් ලබා දීමට කටයුතු සිදු කර ඇත.

 

l කාර්යාංශයේ ලියා පදිංචි වී ඇති කාලය ඉක්මවූ, එහෙත් කොවිඩ්-19 රෝගය වැලඳීමෙන් මරණයට පත්වූ ශ්‍රමිකයන් 06 දෙනෙකුගේ යැපෙන්නන් විසින් වන්දි මුදල් ලබාදෙන ලෙස කාර්යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එම ඉල්ලීම් අතුරින් එක් අයෙකු සඳහා මේ වන විට රුපියල් 300,000ක මුදලක් සේවක සුබසාධන අරමුදලින් ගෙවීම් සිදු කර ඇත. එම්.ඒ. නන්දන ප්‍රියන්ත මහතා. - එන් 7543706

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණෙන විගමණික ශ්‍රමිකයන්ගේ තොරතුරු නිරෝධායන මධ්‍යස්ථාන මාර්ගයෙන් රැස් කිරීම ආරම්භ කර ඇති අතර, එම තොරතුරු පරිගණකගත කරනු ලබයි. 2020.11.13 දින වන විට ආපසු පැමිණි විගමණික ශ්‍රමිකයන් 13,181කගේ තොරතුරු පත්‍රිකා කාර්යාංශය වෙත ලැබී ඇති අතර, ඒ අතුරින් ශ්‍රමිකයන් 6,657කගේ දත්ත පරිගණකගත කර ඇත. ඒ අනුව,

දේශීය රැකියාවක් අපේක්ෂා කරන සංඛ්‍යාව - 1,617යි.

නැවත විදේශ රැකියාවක් සඳහා යෑමට අපේක්ෂිත සංඛ්‍යාව  2,163යි.

මෙරට ස්වයං රැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත සංඛ්‍යාව  654යි.

වැඩිදුර පුහුණුවක් ලබා ගැනීමට අපේක්ෂිත සංඛ්‍යාව 64යි.

වෙනත් අවශ්‍යතා සඳහන් කරන සංඛ්‍යාව  2,159යි.

l එසේ ලබා ගන්නා තොරතුරු අනුව, මෙරටට ආපසු පැමිණෙන ශ්‍රමිකයන් නැවත විදේශ රැකියාවකට යෑමට අපේක්ෂා කරන්නන්, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන්, වැඩිදුර පුහුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් හා වෙනත් අවශ්‍යතා  යන විස්තර විශ්ලේෂණය කර ඔවුන්ට සහාය දැක්වීමේ වැඩ පිළිවෙළ මෙම අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් හා එක්ව දැනටමත් සකසා ඇත.

  (ii) l කොව්ඩ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන් තවදුරටත් අනාරක්ෂිත වීම හෝ   රැකියා අහිමිවීම නැතහොත් වීසා කාලය ඉක්මවා යෑම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර විගමනික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කෙරේ.

l කෙසේ වුවද විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නිරෝධායන පහසුකම්, කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව - PCR Sampling Capacity, පරීක්ෂණාගාරවල සිදු කළ හැකි PCR  පරීක්ෂණ සංඛ්‍යාව - රෝහල්වල දැඩි සත්කාර ඒකක - ICU - ඇඳන් සංඛ්‍යාව ඇතුළු අනෙකුත් පහසුකම් හා එක් එක් රටවල ගුවන් කලාප  - airspace - භාවිත කිරීමේදී පනවා ඇති සීමා  සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවාවල පවතින නොයෙකුත් සීමා යටතේ වුවත් එම ශ්‍රමිකයන් එකී රටවල සිදු කරන නිරෝධායන ක්‍රමවලට අනුගත වෙමින් ප්‍රායෝගිකව ගෙන්වා ගත හැකි ප්‍රමාණ  පිළිබඳව කොවිඩ් - 19 ජනාධිපති කාර්ය සාධක බලකාය හා විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව එම බලකායේ මඟ පෙන්වීම යටතේ  ශ්‍රමිකයන් ක්‍රමානුකූලව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතී.

l ඒ අනුව, 2020.11.13 දින දක්වා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගනු ලබන රටවල් 14ක රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 11,276ක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. ඇමුණුම 02 සභාගත* කරමි.

(ඇ) පැන නොනඟී.

 

—————————

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

පිළිතුරු දුන් දිනය

2020-11-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks