04

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0051/2020: ලංකාවේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්: විස්තර

51/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ප්‍රථම කොවිඩ් - 19  ආසාදිත රෝගියා වාර්තා වූ දිනය කවදාද;

            (ii)       එදින සිට අද දක්වා දිනපතා වාර්තා වූ කොවිඩ් - 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එදින සිට දිනපතා සිදුකරන ලද පී.සී.ආර්. (PCR - Polymerase Chain Reaction ) පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද;

(iv) කොවිඩ් - 19 රෝගය මැඩපැවැත්වීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020.01.27

              (ii)      ඇමුණුම 01 හි දක්වා ඇත. එහි සඳහන් වන, දිනෙන් දිනට අදාළ සංඛ්‍යා කියන්න කාලය නොමැති නිසා මා එම ඇමුණුම සභාගත* කරනවා.

             (iii)      ඇමුණුම 02හි දක්වා ඇත. මාස ගණනක් තිස්සේ දවසින් දවස කරන ලද පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව කියවන්න කාලය නොමැති නිසා මම එම ඇමුණුමත් සභාගත* කරනවා.

(iv) එයත් කරුණු විශාල සංඛ්‍යාවක් ඇතුළත් පිළිතුරක්. ඒ පිළිතුරට අදාළ වාර්තාවත් තිබෙනවා. ජනවාරි 01වැනිදා සිට ගත් පියවර ගණනාවක් එහි සඳහන්ව තිබෙනවා. එම නිසා මම ඒ දීර්ඝ වාර්තාව ද ඇතුළත් පිළිතුරේ ඉතිරි කොටස සභාගත** කරනවා.

(ආ) පැන නොනගී.

 

** සභාමේසය මත තබන ලද, පිළිතුරේ ඉතිරි කොටස:

* *  சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* *  Rest of the Answer tabled:

 

 

I. කොවිඩ් 19 ආසාදිත රෝගීන් කළමනාකරණය පිළිබඳ අතුරු සාරාංශ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් සකස් කර 2020.01.26 දින ප්‍රකාශයට පත් කරන ලදී. දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළත් රෝග වළක්වා ගැනීම සඳහා වන සාමාන්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දෙන ලදී.

II. කොවිඩ්-19 වසංගතයෙහි ගෝලීය සහ දේශීය තත්ත්වය පිළිබඳ තොරතුරු මාධ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන වෙත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නිල තත්ත්ව වාර්තාව දෛනික ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීම 2020.01.28 දින සිට වසංගත රෝග විද්‍යා අංශයේදී ආරම්භ කරන ලදී.

III. කොවිඩ්-19 හා ඒ සම්බන්ධ කරුණු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම, සම්මන්ත්‍රණ සහ වැඩමුළු දෛනිකව පවත්වන ලදී. තවද, ජනතාවගේ දැනුවත්භාවය සදහා ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යවල කොරෝනා ව්යාප්තිය සහ ඊට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වාර්තාමය වැඩසටහන්, සංවාද සහ සජීවි සාකච්ඡා පවත්වන ලදී.

IV. චීනයේ සිට පැමිණෙන මඟීන් විසින් ගුවන් තොටුපළේදී සම්පූර්ණ කළ යුතු සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2020 ජනවාරි අවසානය වන විට සකස් කරන ලදී. පසුව, ශ්‍රී ලාංකිකයන්ගේ සහ තම රටේ අලුත් අවුරුදු උත්සවයෙන් පසු නැවත රාජකාරි සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයන්ගේ පහසුව සඳහා එම ආකෘතිය සිංහල, දෙමළ සහ චීන භාෂාව ඇතුළත් කරමින් නැවත සකස් කරන ලදී. මෙම ආකෘති පත්‍ර එක් රැස් කර දිස්ත්‍රික්ක / MOH ප්‍රදේශ අනුව වෙන් කර පසු විපරම් කටයුතු සඳහා අදාළ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙත විද්‍යුත් තැපැල් මඟින් යොමු කරන ලදී.

V. ශ්‍රී ලංකා ගුවන් සේවය 2020 පෙබරවාරි මස වූහාන් මුදාගැනීමේ මෙහෙයුමේ නිරත විය. කාර්ය මණ්ඩලය පිටත් වීමට පෙර ඔවුන්ගේ මෙන්ම චීනයේ අතරමං වී සිටින සිසුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත චර්යා පද්ධතීන් සහ ක්‍රියාමාර්ගයන් පිළිඳව පූර්ණ කාලීන වශයෙන් පුහුණුව ලබාදෙන ලදී. මේ අතර දියතලාව හමුදා කඳවුර වෙත යොමු කරන ලද සිසුන් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය සෞඛ්‍යමය යෙදවුම් සහ තාක්ෂණික මාර්ගෝපදේශකත්වය ලබාදෙන ලදී. පසුව රටේ බොහෝ ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මේ ආකාරයේ අනුග්‍රහයන් ලබාදෙන ලදී.

VI. සියලුම පළාත් / ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරුන් කැඳවා ක්ෂේත්‍ර ආවේක්ෂණ පද්ධතිය මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් නිවෙස්හි සිදු කරන නිරෝධායන ක්‍රියාවලිය සහ ආසාධිත යැයි සැක සහිත පුද්ගලයෙකු රෝහලට ඇතුළත් වූ විගස හුදෙකලා කිරීම, සාම්පල ලබා ගැනීම සහ ඒවා යැවීමේ ක්‍රමවේද ඇතුළුව සායනික සත්කාර ලබාදීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදී. ආසාදන පාලනය කිරීමේ හෙද නිලධාරින්ව තමන් සේවය කරන රෝහල්වල කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳව මෙන්ම සාම්පල ලබා ගැනීම, නිසි පරිදි ලේබල් කිරීම හා ප්‍රවාහනය සඳහා ඇසුරුම් කිරීම පිළිබඳව පුහුණු කරන ලදී.

VII. ආසාදිත යැයි සැක කරනු ලබන පුද්ගලයන් අදාළ රෝහල් වෙත ගෙන යෑමට "සුවසැරිය" ජාතික ගාස්තු රහිත ගිලන් රථ සේවය දැනුවත් කරන ලද අතර, නියමිත සීමාවන් ඉක්මවා යෑමට අවශ්‍ය පරිපාලනමය අවසරයක් ලබා ගන්නා ලදී.

VIII. 2020 මාර්තු 18 දින, කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය සඳහා වෙන් වූ ආයතන ලෙස රෝහල් 24ක් හඳුනා ගන්නා ලදී. පසුව මෙම ගණන 39 දක්වා වැඩි කරන ලදී. මෙම සියලුම රෝහල්වල කොවිඩ් ආසාදිත බවට සැක කරන රෝගීන් සඳහා හුදකලා කිරීමේ පහසුකම් සපයන ලද අතර, රෝහල් 11ක් මඟින් කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගත් රෝගීන් සඳහා සායනික ප්‍රතිකාර කිරීමේ පහසුකම් සපයන ලදී. බෝවන රෝග රෝහල (IDH) කොවිඩ්-19 ප්‍රතිකාර කිරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය ලෙස හඳුනාගනු ලැබිණි.

IX. එමෙන්ම, වෘත්තීය විද්‍යාලවල සහයෝගය ඇතිව කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ / ප්‍රොටකෝල සකස් කරන ලද අතර, නව සාධක හමුවීම මත එය අඛණ්ඩව යාවත්කාලීන කරන ලදී.

X. පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ස්ථාපිත කරන ලදී. සියලුම විශේෂඥ වසංගත රෝග විද්‍යාඥයින්, වෛද්‍ය නිලධාරින් සහ රියැදුරන් ඇතුළු අනෙකුත් සහායක කාර්ය මණ්ඩල සූදානමින් තැබූ අතර, ඔවුන්ගේ නිවාඩු තාවකාලිකව අත් හිටුවන ලදී. තවද, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරින් සැපයීම මඟින් වසංගත රෝග විද්‍යා අංශයේ ධාරිතාව ඉහළ නංවන ලදී.

XI. වෛද්‍ය පර්යේෂණ ආයතනය වසංගතයේ මුල් අවධියේම ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා එහි ධාරිතාව වැඩි දියුණු කර ඇත. පසුව නුවර, කරාපිටිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහල්වලද පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කෙරුණු අතර, මේ සඳහා වෙනත් රජයේ රෝහල් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල ද පසුව දායක විය.

XII. යාවත්කාලීන සෞඛ්‍ය තොරතුරු සැපයීම සහ සාමාන්‍ය මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරු වළක්වාලීම යන කාර්යයන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට පවරන ලදී. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන ඔවුන්ගේ ව්‍යාපාරයට අනුකූලව කොවිඩ්-19 පිළිබඳව හා එය වළක්වාලන ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලීම කරන ලද අතර, සංචාරක අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, වාණිජ මණ්ඩලය, අමාත්‍යවරුන්ගේ ආරක්ෂක අංශ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්, රොටරි සාමාජිකයන් සහ හෝටල්වකරුවන් ඒ අතර විය.

XIII. පුළුල් ලෙස සම්බන්ධතා පැවැත්වූවන් හඹා යෑම (extensive contact tracing) හා නිරෝධායන ක්‍රියාමාර්ග මඟින් හඳුනාගත් සියලුම කොවිඩ්-19 ආසාධිත පොකුරු සාර්ථකව පාලනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රෝගය ජනතාව අතර පැතිරීමේ මට්ටමට පත් නොවීය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් කොවිඩ්-19 ආසාධිත රෝගීන්ගෙන් ගත වූ දින දහහතරක කාලය තුළ ඔවුන් සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නිවෙස්වල හෝ ආයතනවල නිරෝධායනය කෙරුණි. සමස්ත රටම (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 355ක්) ආවරණය වන පරිදි මනා පුහුණුවක් ලත් මහජන සෞඛ්‍ය කණ්ඩායම් සිටීම කොවිඩ්-19 පාලනය සඳහා වාසි සහගත විය. මෙම ක්‍රියාවලිය සඳහා හමුදා බුද්ධි අංශයේ සහායද ලද අතර, ආශ්‍රිතයන් සොයා ගැනීම තවදුරටත් ශක්තිමත් කෙරුණි.

XIV. කොවිඩ්-19 රෝග ලක්ෂණ නොපැවතියද, රෝගීන් ඇසුරු කර තිබූ පුද්ගලයින් අනිවාර්යයෙන් දින දහහතරක කාලයක් නිවෙස්වල නිරෝධායනය කළ අතර, නිවෙස්හි නිරෝධායනය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සකස් කර ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් හරහා රටෙහි සියලුම MOH හා PHI නිලධාරින් මෙම ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණු කරන ලදී. පසුව ආයතන පදනම් කරගත් නිරෝධායනය හඳුන්වා දුන් අතර, කොවිඩ්-19 සහිත පුද්ගලයන් ඇසුරු කළ බවට සැක කෙරෙන කණ්ඩායම් බොහෝ ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට මෙම ආයතනවලට හැකි විය. ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තාක්ෂණික සහාය සහිතව රට තුළ ප්‍රදේශ වසා දැමීම ද (local area lockdowns) අනෙකුත් ප්‍රදේශ කරා රෝගය පැතිරීම වැළැක්වීමට සහාය විය.

XV. විදේශයන්හි සේවය කරන / නැවතී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු බොහෝ ආයතන විසින් මනාව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට අන්තර්ජාතික ගුවන් තොටුපළ දෙකෙහි එම ස්ථානයෙහිම PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව ඉහළ නංවන ලදී. පසුව ඔවුන් රජය විසින් පාලනය වන ගාස්තුවක් රහිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත හෝ නම් කරන ලද හෝටල් මඟින් සැපයෙන ගෙවීමක් සහිත මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී. මෙරටට පැමිණීමෙන් 10 වන දින සිදු කෙරෙන PCR පරීක්ෂණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කර එම සාම්පල නම් කළ රසායනාගාර වෙත යවන ලදී.

XVI. දැනට පවත්නා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග (Influenza-like illness) ආවේක්ෂණ පද්ධතිය කොවිඩ්-19 පරීක්ෂාවන් සඳහාද සූදානම් කරන ලදී. රට පුරා ප්‍රතිකාර සඳහා නම් කළ රෝහල් වෙත පැමිණි උණ රෝගීන් කොවිඩ් සඳහා පරීක්ෂා කෙරෙන අතර, ප්‍රධාන නගරයන්හි අධි අවදානම් කණ්ඩායම් (උදා: ත්‍රිරෝද රථ රියදුරන්, බස් කොන්දොස්තරවරුන්, ලොතරැයිපත් විකුණන්නන් ආදී) අතර අදාළ ස්ථානයේදීම PCR පරීක්ෂණ සිදු කරන ලදී. දිනපතා කොවිඩ්-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනෙන ඉන්දියාවට සමීපස්ථ වීම හේතුවෙන් හඳුනාගත් වෙරළ තීරයෙහි රෝහල් කොවිඩ් ආවේක්ෂණ සහ සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යයි.

XVII. කොවිඩ්-19 පිළිබඳ ආවේක්ෂණ ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වසංගත රෝග විද්‍යා ආයතනයෙහි මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තුළ ප්‍රජා නියැදි පරීක්ෂාව ස්ථාපිත කරන ලදී.

XVIII. ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැනි රෝග අවේක්ෂණය සමඟ සබැඳි කොවිඩ් ආවේක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ Brandix ආයතනයේ සේවකයෙක් කොවිඩ්-19 ආසාදිත රෝගියෙක් ලෙස 2020 ඔක්තෝබර් 04 දින ගම්පහ දිස්ත්‍රික් රෝහලේදී හඳුනාගන්නා ලදී. එහිදී වහාම Brandix ආයතනය දැනුවත් කළ අතර, එම ආයතනයේ රෝගී සේවකයින් 99 දෙනෙකු PCR පරීක්ෂණයකට භාජනය කරන ලදුව, ඔවුන් අතුරින් සියයට 66ක පමණ සේවක පිරිසක් කොවිඩ්-19 වයිරසය ආසාදිත රෝගීන් බවට හඳුනාගන්නා ලදී. පසු දින (2020/10/05) Brandix ආයතනයේ සේවකයින්ගේ සාම්පල 1460ක් කොවිඩ්-19 හඳුනා ගැනීමේ පරීක්ෂණය සඳහා යොමු කළ අතර ඉන් සියයට 73කට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු කරන ලදී. කොවිඩ්-19 ආසාදිත රෝගීන් රෝහල් ගතකළ අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් අනාවරණය කර ගන්නා ලදී. පළමු ආශ්‍රිතයින් නිවෙස්හි නිරෝධායන හෝ ආයතනික නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලද අතර, PCR පරීක්ෂණ සිදු කරන ලදී.

XIX. පෑලියගොඩ මාළු වෙළෙඳ සැල ආශ්‍රිත කොවිඩ් පොකුර හඳුනා ගැනීමත් සමඟ මාළු වෙළෙඳ පොළෙහි සියලුම සේවකයින් සඳහා PCR පරීක්ෂණ සිදු කරන ලදී. හඳුනාගත් කොවිඩ් ආසාදිත රෝගීන් රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී. ආසාදිත රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් හඳුනාගෙන නිවාස නිරෝධායනය හෝ ආයතනික නිරෝධායනය සඳහා යොමු කරන ලදී. හඳුනාගත් සියලුම සමීප ආශ්‍රිතයින් නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමට ආසන්න වූ විට ඔවුන් සියලුදෙනා සඳහා PCR පරීක්ෂණ සිදු කරන ලදී.

XX. කොවිඩ් රෝගීන්ගෙන් එක්රැස් කරගත් තොරතුරු පාදක කර ගනිමින්, පෑලියගොඩ මාළු වෙළෙඳ පොළෙහි ආශ්‍රිතයින් වෙනත් දිස්ත්‍රික්කවලින් හඳුනා ගැනීම සඳහා සිද්ධි විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

XXI. කොවිඩ්-19 සඳහා වන උග්‍ර ලෙස අවදානම් ස්ථාන ඉලක්ක කර ගනිමින් අහඹු ජ්‍රජා නියැදි ලබා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලදී.

XXII. මෑතකදී පෑලියගොඩ මාළු වෙළෙඳ පොළ වෙත ගිය පිරිස් සිටී නම් ඒ බැව් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දැනුවත් කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය ආධාරයෙන් මාධ්‍ය පණිවුඩ ලබාදෙන ලදී.

XXIII. සිද්ධි විමර්ශන කටයුතුවලදී කර්මාන්තශාලා හා ආයතනවල සේවය කරන කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ අතර, රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වසංගතවේදී ක්‍රමෝපායයන් සැලසුම් කිරීම සහ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම සඳහා සේවකයින් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

XXIV. ආරක්ෂක හමුදා නිලධාරින් සේවය කරන ආයතනවල කොවිඩ් පොකුරු ඇතිවීම වැළැක්වීමට සහ පොකුරු වර්ධනය වීම අවම කිරීම සඳහා වඩා යහපත් වසංගතවේදී ක්‍රියාමාර්ගයන් සැලසුම් කිරීම සහ අනුගමනය කිරීමට එම නිලධාරින් සමඟ සාකච්ඡාවන් පවත්වන ලදී.

XXV. සියලුම පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සඳහා කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ රෝග ඉතිහාසයන් ලබා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතී. තව දුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ව නිරෝධායනය කරමින් සහ PCR පරීක්ෂණ සිදු කරමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

XXVI. කොවිඩ්-19 රෝගීන් හට ප්‍රතිකාර සිදු කිරිම සඳහා අමතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන හඳුනාගෙන ඇත. 2020.11.09 දින වන විට හඳුනාගෙන ඇති මුළු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 52කි.

 

පිළිතුරු දුන් දිනය

2020-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks