01

E   |     |  

 දිනය: 2019-09-06   පිළිතුර ලබා දී ඇත 

0876/2019: මහියංගණය පානීය ජල යෝජනා ක්‍රමය: වර්තමාන තත්ත්වය

876/’19

ගරු තේනුක විදානගමගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2013 වර්ෂයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගණය මැතිවරණ කොට්ඨාසයේ ආරම්භ කරන ලද පානීය ජල යෝජනා ක්‍රමය පිළිබඳ වත්මන් තත්ත්වය කවරේද;

(ii) එම ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් පානීය ජල පහසුකම් ලබා දිය යුතුව තිබූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) පානීය ජලය ලබා දීමට නොහැකි වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම ජල ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;

(v) මෙම ජල ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ සූදානමක් තිබේද;

(vi) එසේ නම්, ඒ පිළිබඳ වත්මන් තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වකුගඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් වෙසෙන මහියංගණය මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      මෙම ජල සම්පාදන ක්‍රමයෙන් ලබා දී තිබූ ජල සම්බන්ධන 1950ට අමතරව, වැඩි දියුණු කළ ජල සම්පාදන ක්‍රමය මඟින් නව ජල සම්බන්ධතා 2,750ක් පමණ මෙම වසර තුනක පමණ කාලයේදී ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම මූලික සැලසුමට අනුව කිලෝ මීටර් 250ක් පමණ වන සම්පූර්ණ බෙදා හැරීමේ නළ පද්ධතියෙන් මේ වනතෙක් වාර්ෂිකව රජයෙන් වෙන් වූ ප්‍රතිපාදන මඟින් බෙදා හැරීමේ ජල නළ පද්ධතිය කිලෝ මිටර් 160ක් පමණ ආවරණ කලාපය තුළ එළීමට කටයුතු කොට ඇත.

(ii) ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් පවුල් 10,000ක් සඳහා ජල පහසුකම් ලබා දිය හැක. මේ වන තෙක් පවුල් 4,700කට පමණ ජල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. ඊට අමතරව පවුල් 2,600ක් සඳහා ජල පහසුකම් සැපයීමට අවශ්‍ය නළ එළීම මේ වන විට ආරම්භ කර ඇත.

(iii) සැලසුම් ප්‍රකාරව බෙදාහැරීමේ නළ පද්ධතිය එළා ඇති ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලුම පරිදි නව ජල සම්බන්ධතා ලබා දීම මේ වන විටත් සිදු කරයි. ආවරණ කලාපය තුළ පිහිටි එළීමට නොහැකි වූ බෙදාහැරීමේ නළද එළීම මේ වන විට ආරම්භ කර ඇත.

(iv) මහියංගණ ව්‍යාපෘතියේ විදේශීය කොන්ත්‍රාත්කරුගේ වැඩ හා මෙතෙක් වසරක් පාසා ව්‍යාපෘතිය වෙත ලැබූ දේශීය අරමුදල්වලින් නිම කරන ලද බෙදා හැරීමේ නළ පද්ධතියට අමතරව ආවරණ කලාපය තුළ එළීමට නොහැකි වූ‍ බෙදාහැරීමේ නළ කිලෝ මීටර් 46ක් පමණ එළීම මේ වන විට අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය -WaSSIP- මඟින් සිදු කරනු ලැබේ. මෙමඟින් නව පවුල් 1,400කට පමණ ජල සම්බන්ධතා ලබා දීමට බලාපොරොත්තු වේ.

(v) දැනට නැත.

නමුත් පළමු අදියරයෙන් ආවරණය නොවූ ප්‍රදේශවලට විකල්ප ක්‍රම (ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය -WaSSIP- මඟින් පානීය ජලය සැපයීමට කටයුතු කරනු ලැබේ.

(vi) මහියංගණ ජල සම්පාදන ක්‍රමය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ආවරණය කළ නොහැකි වූ ප්‍රදේශයන් ආවරණය කළ හැකි වන පරිදි හා වකුගඩු ආශ්‍රිත රෝගීන් බහුලව වෙසෙන ප්‍රදේශවල පානීය ජලය ලබාදීම සඳහා උල්හිටිය ජල සම්පාදන ව්‍යාපෘතියෙහි සැලසුම් මේ වන විටත් අවසන් කොට ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. එමෙන්ම "ලොග්ගල් ඔය" නව ජල යෝජනා ක්‍රමයක් සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඌව ප්‍රාදේශීය සහාය සේවා ‍මධ්‍යස්ථාන මඟින් සිදු කෙරෙමින් පවතී.

(ආ) දැනට වකුගඩු රෝගීන් බහුලව වෙසෙන රිදීමාලියද්ද ප්‍රදේශය මහියංගණ ව්‍යාපෘතියේ ආවරණ කලාපයෙන් බැහැරව තිබුණද අමාත්‍යාංශයේ නිර්දේශය මත එම කොටසටද පානීය ජල පහසුකම් මහියංගණය ව්‍යාපෘතියෙන් ලබා දීම සඳහා අවශ්‍ය ජල ටැංකි හා ජල පොම්පාගාර ඉදි කොට ජලය ගෙන යන ප්‍රධාන ජල නළ එළීමට කටයුතු කළ අතර දැනට වකුගඩු රෝග නිවාරණ අරමුදල් මඟින් බෙදාහැරීමේ ජල නළ ද එළීමට කටයුතු කොට ඇත. ඒ අනුව දැනට කිලෝ මීටර් 18ක ප්‍රමාණයක් බෙදා හැරීමේ නළ රිදීමාලියද්ද ප්‍රදේශයේ එළා ඇත. මෙමඟින් වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා දීමේ පහසුකම් සැපයෙනු ඇත.

ඊට අමතරව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක, නැඟී එන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය -RIDEP- මඟින් රිදීමාලියද්ද ප්‍රදේශය ආවරණ කලාපය තුළ පිහිටි අනෙකුත් බෙදාහැරීමේ නළ පද්ධතිය එළීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. ඒ අනුව රිදීමාලියද්ද ප්‍රදේශයේ පවුල් 1,200ක් පමණ ආවරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks