01

E   |     |  

 දිනය: 2019-07-25   පිළිතුර ලබා දී ඇත 

0774/2019: පේෂකර්ම මධ්‍යස්ථාන: ගම්පහ දිස්ත්‍රික්කය

774/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පවත්වාගෙන යනු ලබන පේෂකර්ම මධ්‍යස්ථාන බොහොමයක් රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරමින් ජාතික නිෂ්පාදනයට සෘජු හා වක්‍ර ලෙස දායක  වන බව එතුමා දන්නෙහිද?  

(ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන පේෂකර්ම මධ්‍යස්ථාන සංඛ්‍යාව, අනු ශාඛා සංඛ්‍යාව සහ ගෘහස්ථ මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිවෙළින් කොපමණද;

 

(ii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වසා දමා ඇති ප්‍රධාන පේෂකර්ම මධ්‍යස්ථාන සංඛ්‍යාව, අනු ශාඛා සංඛ්‍යාව සහ ගෘහස්ථ මධ්‍යස්ථාන සංඛ්‍යාව  පිළිවෙළින් කොපමණද;

(iii) ඉහත (ii) හි සඳහන් මධ්‍යස්ථාන වැසී යාමට බලපෑ ප්‍රධාන හේතු සහ සාධක සහ ඒ හේතුවෙන් අහිමි වී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;

(iv) මෙම දේශීය කර්මාන්තයේ උන්නතියට සහ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2019 අයවැය මඟින් කර ඇති යෝජනා කවරේද;

(v) එම‍ යෝජනා පිළිබඳ සෑහීමකට පත්වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) දිවුලපිටිය ආසනය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පේෂකර්ම මධ්‍යස්ථානවල වාර්ෂික පිරිවැටුම ‍කොපමණද;

 (ii) මෙම මධ්‍යස්ථාන ඉදිරියට පවත්වාගෙන යෑම අධීක්ෂණය කිරීමේ බලය ඇති ආයතනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

නමුත් දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පේෂ කර්මාන්තය යනු පළාත් සභා වෙත විමධ්‍යගත වූ විෂයයකි. ඒ අනුව රෙදිපිළි නිෂ්පාදනය හා අළෙවි කිරීමේ කටයුතු පළාත් සභා යටතේ පවතින පළාත් කර්මාන්ත දෙපාර්ත‍මේන්තුව විසින් සිදු කරයි. මධ්‍යම රජයේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණු කටයුතු හා ප්‍රවර්ධනය පමණක් සිදු කරනු ලැබේ.

(ආ)         (i)      ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන හෝ අනුශාඛා හෝ ගෘහස්ථ මධ්‍යස්ථාන කිසිවක් මධ්‍යම රජයේ පේෂ කර්මාන්ත දෙපාර්ත‍මේන්තුව යටතේ නොමැති අතර, ඒ සියල්ල බස්නාහිර පළාත් සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ.

(ii)  ඉහත (ආ) (i) පිළිතුර අනුව පැන නොනඟී.

(iii) ඉහත (ආ) (i) පිළිතුර අනුව පැන නොනඟී.

(iv) 2019 වසරේ අය වැය යෝජනා තුළ පේෂ කර්මාන්තය පිළිබඳ නිශ්චිත යෝජනා සඳහන් නොමැති වුවද කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ පේෂ කර්ම හා ඇඟලුම් සංවර්ධනය සඳහා 2019 අය වැය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 125ක් වෙන් කර ඇත. එයින් රුපියල් මිලියන 34.13ක් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබා දී ඇති අතර, තවත් රුපියල් මිලියන 26.15ක් පළාත් සභා විසින් ක්‍රියාත්මක කරනු ලබන පේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් පළාත් සභා 09 සඳහා ලබා දී ඇත.

(v) ඉහත (ආ) (iv) පිළිතුර අනුව පැන නොනඟී.

(ඇ) (i) දිවුලපිටිය ආසනය තුළ ක්‍රියාත්මක වන පේෂකර්ම මධ්‍යස්ථාන බස්නාහිර පළාත් සභාවේ විෂය පථයට අයත් වන බැවින් පැන නොනඟී.

(ii) පළාත් සභාව යටතේ පවතින බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව.

(ඈ) ඉහත පිළිතුර (ඇ) (i) අනුව පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks