01

E   |     |  

 දිනය: 2019-04-01   පිළිතුර ලබා දී ඇත 

0627/2019: කොන්සල් කාර්යාලයක් හෝ තානාපති කාර්යාලයක් පිහිටුවීම‍: සයිප්‍රස් ජනරජය

627/’18

ගරු ටී. රංජිත් ද සොයිසා  මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට සයිප්‍රස්හි ‍සේවය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒ අනුව ශ්‍රී ලංකා රජය නි‍යෝජනය කරමින් කොන්සල් කාර්යාලයක් හෝ තානාපති කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේද; 

(iii) එසේ නම්, එම කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවන මුළු මුදල කොපමණද;   

(iv) එමඟින් ශ්‍රී ලංකා රජයට විශේෂ ප්‍රතිලාභ ලැබෙන්නේද;

(v) එසේ නම්, එම ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-01

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      සයිප්‍රස් ජනරජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංක්‍රමණ පිළිබඳ දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කාර්යාලය විසින් පවත්වා ගෙන යනු ලබන නිල වාර්තාවලට අනුව, 2017 දෙසැම්බර් 31 වන දින වන විට සයිප්‍රස් ජනරජයේ සේවය කරන, ලියාපදිංචි වී ඇති සමස්ත ශ්‍රී      ලාංකිකයන් සංඛ්‍යාව 4,888කි. 2018 වර්ෂය සඳහා දත්ත සයිප්‍රස් නියෝජිතායතනය විසින් සකසනු ලබමින් සිටින අතර, එම ක්‍රියාවලිය අවසන් වූ වහාම 2018 වර්ෂයේ දත්ත ලබා දෙනු ඇත.

2017 අවසානය වන විට, 5,272ක්වූ සයිප්‍රසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් එක් ප්‍රවර්ගය යටතේ මෙසේ දැක්විය හැකිය.

              පදිංචි ප්‍රවර්ගය

     සංඛ්‍යාව

ගෘහ රැකියා

       4637

අධ්‍යාපන

           27

විදේශීය සමාගම්වල රැකියා

           04

සයිප්‍රසයේ පවුලේ සාමාජික

          231

යුරෝපා සංගම් රටවල ජාතිකයින්ගේ පවුලේ සාමාජික

          102

පවුල් නැවත එක්සත් කිරීම

           03

සාමාන්‍ය රැකියා

          244

විගමනික බලපත්‍ර

            03

දිගුකාලීන පදිංචිකරුවන්

            01

ආගන්තුක

            20

මුළු අගය

         5272

(ii) සයිප්‍රසයේ අගනගරය වන නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2019 පෙබරවාරි 28 වැනි දින මා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දිගු කාලීන අවශ්‍යතාව ඉට‍ු කිරීමක් වශයෙන් හා පසුගිය වසර කීපයක් පුරා ඔවුන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, මෙම රජය විසින් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ස්ථාපනය කරන ලදී.

1963 වසරේ සිට ශ්‍රී ලංකාව සයිප්‍රස් ජනරජය සමඟ අඛණ්ඩව ද්විපාර්ශ්වික කටයුතුවල නියැලීම හා එම ජනරජය සමඟ පවත්වා ගෙන යන දිගු කාලීන මිත්‍රත්වය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ සහෝදර සාමාජික රටවල් දෙකක් වීම යන්න සැලකිල්ලට ගනිමින් හා කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය සංවර්ධනය ඇතුළුව, සංචාරක කටයුතු, අධ්‍යාපනය හා කෘෂිකර්මය යන විශේෂිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගිතාව වැඩිදියුණු කරන රටවල් දෙකක් වශයෙන්, මෙම කොන්සල් කාර්යාලය සියලු පහසුකම් සපුරාලන මහ කොමසාරිස් කාර්යාලයක් බවට අනාගතයේ දී වැඩිදියුණු කිරීමට විශේෂ සැලකිල්ලක් යොමු කරනු ලැබේ.

(iii) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට දැරීමට සිදු වූ වියදම් මෙසේ ය.

සයිප්‍රසයේ, නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2018 හා 2019 වසරවල දී දැරීමට සිදු වූ වියදම්

 

         මාසය

   මුදල (ශ්‍රී.ලං.රු.)

2018

 නොවැම්බර්

 2,071,647.34    මිලියන   2.07යි

 

 දෙසැම්බර්

13,081,605.01   මිලියන 13.08යි

 

                එකතුව

15,153,252.35   මිලියන 15.15යි

 

         මාසය

   මුදල (ශ්‍රී.ලං.රු.)

2019

ජනවාරි

 2,206,134.09      මිලියන   2.2යි

 

පෙබරවාරි

 2,915,703. 58     මිලියන  2.91යි

 

එකතුව

5,121,837.67     මිලියන   5.12යි

(iv) රජය, නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ස්ථාපනය කිරීම තුළින් සයිප්‍රසයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය වැඩි කිරීම මඟින්, සයිප්‍රසයේ සේවය කිරීමට අපේක්ෂා කරන සහ සයිප්‍රසයේ දැනටමත් සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වාසි සැලසෙනු ඇත.

(v) ප්‍රධාන ප්‍රතිලාභ සමහරක් වන්නේ:

සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට ඕනෑම අවස්ථාවක කොන්සියුලර් සේවා සඳහා ඍජුවම පිවිසිය හැකි වනු ඇත. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම, ලිපි ලේඛන සහතික කිරීම, ආරක්ෂිත නිවස්න පහසුකම සඳහා ප්‍රවේශය ඇතුළුව කම්කරු ගැටලු අවම කිරීම හා ඒවා විසඳුම් ලබා දීම යනාදියට අදාළ සේවා සැපයීම මේවාට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව හා සයිප්‍රසය අතර දැනට සාකච්ඡා පවත්වමින් සිටින, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා ලබා දීමේ ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාව හා සයිප්‍රසය අතර ගිවිසුමට අත්සන් තැබීම මඟින්, සියලුම ලියාපදිංචි ශ්‍රී ලාංකික සේවාදයකයින් සඳහා වැටුප් ඉහළ නැංවීම (වර්තමාන‍යේ දී, වැඩිහිටියන් රැක බලා ගන්නා ගෘහ සේවකයෙකු සඳහා ගෙවනු ලබන අවම වැටුප යුරෝ 327ක් හා පවුලක් සඳහා සේවය කරන ගෘහ සේවකයෙකු සඳහා ගෙවනු ලබන අවම වැටුප යුරෝ 350ක් බැගින් වේ.) හා කෙටි කාලීන (වසර 4-6) කොන්ත්‍රාත්තු සේවකයන් සඳහා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීම පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමට සහය වනු ඇත. මෙම ගිවිසුම මඟින් පුහුණු ශ්‍රී ලාංකිකයන් හට සයිප්‍රසයේ ආගන්තුක සත්කාර, කෘෂිකර්ම හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල වැඩි රැකියා අවස්ථා විවෘත වනු ඇත. 2017 වර්ෂයේ දී සයිප්‍රසය යුරෝ කලාපයේ ඉහළම ආර්ථික ක්‍රියාකාරිත්වයෙන් යුතු රටවල් පහට අයත් වූ බව ප්‍රකාශ කිරීම සහ 2018 වසරේ දී 3.2%ක හා 2019දී 2.8%ක ආර්ථික වර්ධනයක් ඇතිවන බවට යුරෝපීය කොමිසම මඟින් අනාවැකි පළකොට තිබීම යන සන්දර්භය හමුවේ මෙය වැදගත් කරුණක් වේ.

අපනයන වෙළෙඳ පොළ සඳහා කෘෂිකර්මයට අගය එකතු කිරීම මෙන්ම, සංචාරක පැමිණීම් වැඩි කිරීම සඳහා රටෙහි සංචාරක කටයුතු/ආගන්තුක සත්කාර ක්ෂේත්‍ර ඉහළ නැංවීම පිළිබඳ සයිප්‍රසයේ විශිෂ්ට පරිචයන්/විශේෂඥභාවය මඟින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකි වනු ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-04-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තිලක් මාරපන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks