01

E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0597/2019: මහවැලි කලාපවල ඉඩම් ලබාදීම: ක්‍රමවේදය

597/’18

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මහවැලි කලාපවල ඉඩම් ලබාදීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය වැනි ප්‍රදේශවලින් අයදුම්පත් කැඳවා තිබේද;

(ii) මහවැලි කලාපවල ඉඩම් ලබාදීම සඳහා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;

(iii) එම අයදුම්පත් අතරින් ඉඩම් ලබාදීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) මහවැලි කලාපවල ඉඩම් ලබා දීමේදී අදාළ කලාප තුළ පදිංචි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතර, ඒ කලාපවල පදිංචි පුද්ගලයන්ගෙන් අයදුම් පත් කැඳවා ඉඩම් කච්චේරි පවත්වා සුදුසු පුද්ගලයන් වෙත රජයේ ඉඩම් දීම සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි "ඩී" කලාපය නව සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කරමින් පවතින බැවින් එම කලාපයේ ඉඩම් බෙදා දීම සඳහා මැදිරිගිරිය, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන්ගෙන් අයදුම් පත් කැඳවීමට ක්‍රියාකර ඇත.

(ii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි මහවැලි "ඩී" කලාපය තුළ ඉඩම් ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති මුළු අයදුම් පත්‍ර සංඛ්‍යාව පහත පරිදි වේ.

(iii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ගොවි පන්තියේ පුද්ගලයන් වෙත ගොඩ-මඩ ඉඩම් ලබාදීම සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ඉඩම් කච්චේරි මඟිනි. එහිදී ඉඩම් අවශ්‍ය පුද්ගලයන්ගෙන් අයදුම් පත් කැඳවා එම පුද්ගලයන් ඉඩම් කච්චේරියට ඉදිරිපත් වූ පසු ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර, එම සුදුසුකම් පදනම් කර ගනිමින් ලකුණු ලබාදීම සිදු කරයි. මෙහිදී පුද්ගලයා ගොවි පන්තියට අයත්වීම, වයස, අදාළ වසමේ පදිංචි කාලය, දරුවන් සඳහා ඇති නිර්ණායක සලකා බලනු ලැබේ.

ඒ අනුව සියලු සුදුසුකම් සපුරා ඇති අය සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැති නම් වැඩිම ලකුණු ලබාගත් ඉල්ලුම්කරුවන් අතරින් සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. එහිදී පාදක කර ගන්නා ලකුණු ලබා දීමේ පටිපාටිය ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒක කියවන්න අවශ්‍යද?

පිළිතුරු දුන් දිනය

2019-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks