01

E   |   த   |  

 දිනය: 2019-03-28   පිළිතුර ලබා දී ඇත 

0592/2019: ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම : ක්‍රියාමාර්ග

592/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක 289ට අනුව, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග කවරේද;

            (ii)       1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ලඟාකර ගත් ප්‍රගතිය කවරේද; ඒ පිළිබඳ වගකීම පවරා ඇති පුද්ගලයන් කවුරුන්ද;

 

 

 

 

(iii) ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීමට 2016    අයවැයෙන් වෙන්කර දුන් රුපියල් මිලියන 100 උපයෝජනය කරගත් ආකාරය පැහැදිලි කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-28

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i)

· ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තාක්ෂණ තනතුරු 6ක් සහ සහකාර අධ්‍යක්ෂ නීති තනතුරක් ඇතුළුව මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 22 සිට 33 දක්වා වැඩි කිරීමට 2018 මැයි මාසයේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අනුමත තනතුරුවල පුරප්පාඩු සඳහා නවක සේවකයින් බඳවා ගැනීම 2019 වර්ෂයේදී සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

· ගිණුම් විගණන ප්‍රමිති පනත සංශෝධනය සඳහා එහි පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කර ඇත. පනත සංශෝධනය සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශයේ නීති කටයුතු අංශය විසින් කටයුතු කරනු ලැබේ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු සඳහා යෝජිත සංශෝධිත පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබේ.

· නව සේවක මණ්ඩලය වෙනුවෙන් කාර්යාල ඉඩ පහසුකම් (ව.අ. 2,232ක්) බදු පදනම මත ලබාගෙන ඇත.

· සේවක මණ්ඩලයේ පුහුණු හා සංවර්ධන කටයුතු හඳුනාගෙන ඔවුන් දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන්වලට යොමු කරන ලදී. ඊට අමතරව විදේශීය විශේෂඥයින්ගේ සහාය ඇතිව වැඩමුළු දේශීයව පවත්වන ලදී.

· සේවකයින්ගේ සන්නිවේදන දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා British Council ආයතනයේ දේශකයින් මඟින් පුහුණු වැඩ සටහන් පවත්වන ලදී.

· ගිණුම් විගණන ප්‍රමිති දැනුවත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් වෙනුවෙන් වැඩසටහන් පවත්වන ලදී.

(ii) 2019 මාර්තු 6වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. යෝජිත සංශෝධන සිදුකිරීම සඳහා අදාළ ලිපිලේඛන මුදල් අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019 මාර්තු 19 දිනැති ලිපිය මඟින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

(iii) විශේෂ ප්‍රතිපාදනයක් ලෙස 2016 අය වැය යෝජනා මඟින් ශ්‍රී ලංකා ගිණුම් මා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 100 වියදම් කිරීමට සැලසුම් කර තිබූ ආකාරය පහත දැක්වේ.

යෝජිත ක්‍රියාකාරකම්

මුලින් වෙන් කරන ලද මුදල රු.මිලියන

සංශෝධිත වෙන් කිරීම රුපියල් මිලියන

2016.12.31 දිනට වැය කරන ලද මුදල රුපියල් මිලියන

නීති උපදෙස් සඳහා

5.0

-

-

තොරතුරු තාක්ෂණ කළමනාකරන පද්ධතිය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා

30.0

-

-

කාර්යාල ඉඩපහසුකම් වැඩි දියුණු කිරීම සඳහා

17.0

77.0

2.4

සේවක පුහුණු සහ සංවර්ධන, බාහිර සමාලෝචකයින්ගේ ගාස්තු හා පුහුණු කිරීම්

27.0

12.71

11.6

විගණන සමීක්ෂණ වැඩමුළුව (විදේශීය උපදේශක සහයෙන්)

9.75

6.0

5.6

බදුකරණය, තක්සේරුකරණය, Derivatives & IFRS

7.525

0.525

0.05

ගිණුම් හා විගණන ප්‍රමිති පිළිබඳ වැඩමුළු (විදේශීය උපදේශක සහයෙන්)

4.0

4.0

3.7

100.00

100.00

23.4

2016 ඔක්තෝබර් මාසයේදී ඉහත සඳහන් ක්‍රියාකාරි සැලසුම් සඳහා සමහර ක්‍රියාකාරකම් මණ්ඩලයට පාලනය කළ නොහැකි හේතු මත සිදු නොකිරීම නිසා වෙන් කරන ලද අරමුදල්වලින් ඉතිරිය සියයට 77ක් ඇතිවන බව නිරීක්ෂණය කිරීම හේතුවෙන් එම මුදල් ගෙවා බත්තරමුල්ල ප්‍රදේශයෙන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් දිගු කාලීනව කල්බදු ක්‍රමයට ලබා ගැනීමට මණ්ඩලය තීරණය කරන ලදී. එහෙත් එම යෝජනාව ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් අනුමත නොකිරීම හේතුවෙන් ධාරිතා වර්ධනය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 100න් සියයට 23ක් පමණක් වැය කරන ලදී.

කෙසේ වුවද, ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීම සහ මණ්ඩලයේ විෂය පථය පුළුල් කර ගැනීමට සහ බලාත්මක ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා පනත සංශෝධනය කිරීම ආදිය තවදුරටත් නොකඩවා සිදු කරගෙන යනු ලැබේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-03-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks