04

E   |     |  

 දිනය: 2019-03-12   පිළිතුර ලබා දී ඇත 

0550/2019: කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ලියාපදිංචි නොකිරීම: හේතු

550/’19

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දිවයිනෙහි දිස්ත්‍රික්ක විසිපහ සඳහා ක්‍රිකට් සංගම් විසිපහක් තිබේද;

              (ii)        කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා වූ  ක්‍රිකට් සංගමය පිහිටුවීමට මෙතෙක්  අවසර ලබා නොදීමට හේතු කවරේද;

(iii) කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය සඳහා කිහිපවිටක්ම අයදුම් කර ඇතත්, මෙතෙක් එය ලියාපදිංචි නොකිරීමට හේතු කවරේද;

(iv) 2010 වර්ෂයෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට ඔබ අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ආධාර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-12

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඔව්.

දිස්ත්‍රික් සංගම් පිහිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු නොකරන අතර, දිස්ත්‍රික්කය තුළ පිහිටි ක්‍රීඩා සමාජ සහ අනෙකුත් ආයතන එක්ව දිස්ත්‍රික් සංගමයක් පිහිටුවා ගැනීම සිදු කරනු ලබයි. මේ සඳහා කිසිදු අයුරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත් නොවේ.

(ii) ඉහත කී පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් පිහිටුවීම සිදු නොකරන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවැනි ඉල්ලීමක් ද සිදු කර නොමැත.

(iii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව අනුව, දිස්ත්‍රික් සංගමයක් වෙත සාමාජිකත්වය පිරිනැමීම සඳහා එම සංගමය විසින් මූලික සුදුසුකම් සපුරා තිබිය යුතුය. එසේ මූලික සුදුසුකම් සපුරා නොමැති ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබයි. සුදුසුකම් සපුරා ඇති යම් දිස්ත්‍රික් සංගමයක් විසින් සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන අතර, එහිදී සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වාර්ෂික මහා සභා රැස්වීමක් වෙත ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්ෂික මහා සභා රැස්වීමේදී බහුතර සාමාජික සංඛ්‍යාවකගේ කැමැත්ත හිමිවෙයි නම් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අදාළ ක්‍රීඩා සමාජය හෝ සංගමය වෙත හිමිවේ. ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට මේ වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය හිමි වී නොමැත.

(iv) අමාත්‍යාංශය මඟින් කිසිදු ආධාරයක් ලබා දී නොමැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks