01

E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0482/2019: නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය - 2018 : විකාශන අයිතිය

482/’19

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)      2018 වර්ෂයේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බැහැරව එම තරඟාවලියේ විකාශන අයිතීන්/අනුග්‍රාහක ගෙවීම් තුන්වන පාර්ශ්වයක් හරහා සිදුකළ බව පිළිගන්නේද;

(​ii) එසේ නම්, ඔවුන්ට හිමිවූ කොමිස් මුදල කොපමණද;

(iii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට තිබූ සියලු මුදල් තුන්වන පාර්ශ්වයකට ලබා දීමට අනුමතිය ලබා දුන්නේ කවුරුන්ද;

(​iv) එම වැරදි තීන්දුව ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ) (i) පිළි නොගනී.

2018 වර්ෂයේ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතීන් ලබා ගැනීමේදී විදේශ වෙළෙඳ පොළ වෙත ගොස් වඩාත් ලාභදායී සහ වැඩි මිලකට විකාශන අයිතීන් විකුණා ගැනීම සඳහා ජාත්‍යන්තර අළෙවිකරණ උපදේශක ආයතනයක් වන Lagardere Sports ආයතනයේ සේවාව ලබාගෙන ඇති අතර, ඔවුන් විසින් අනුග්‍රාහකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කිරීම සිදු කර ඇති අතර, සියලු විකාශන අයිතීන් සඳහා මුදල් ලැබීම සහ ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අදාළ අනුග්‍රාහකයින් අතර ඍජුවම සිදු වී ඇත.

(ii) ජාත්‍යන්තර අළෙවිකරණ උපදේශක ආයතනයක් වන Lagardere Sports ආයතනය විසින් අනුග්‍රාහකයින් සොයා දෙමින් සිදු කළ සේවය සඳහා ඇමෙරිකානු ඩොලර් 35,910ක මුදලක් ගෙවා ඇති අතර, ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ අනුග්‍රාහකයින් වෙත විකාශන අයිතීන් විකිණීමෙන් රුපියල් 11,371,566,192ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උපයා ඇත.

(iii) එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව තිබූ සියලු මුදල් තුන්වන පාර්ශවයකට ලබා දී නොමැත.

(iv) එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව තිබූ සියලු මුදල් තුන්වන පාර්ශවයකට ලබා දී නොමැති බැවින් ගැටලුවක් පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-04-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks