01

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0381/2019: බාලදක්ෂ වැඩ සතියේදී ඉපයූ මුදල්: අවභාවිතය

381/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වනවිට වසර 106ක් සපුරන ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 75000 කට අධික බාලදක්ෂ දරු දැරියන් අයත් වන බවත්;

 

(ii) බාලදක්ෂයන්  “වැඩ සතියේ” දී වාර්ෂිකව උපයා බාලදක්ෂ මූලස්ථානයට ලබා දෙන රුපියල් මිලියන 8ක මුදල පසුගිය පස් වසරක කාලයේදී නිසි ක්‍රමවේදයකින් තොරව වියදම් කර ඇති බවත්;

(iii) මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේදී බාලදක්ෂ කමිටු සාමාජිකත්වයේ අවසරයකින් තොරව,  හිටපු ප්‍රධාන බාලදක්ෂ  කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ හිතවත් සමාගමකට උපදේශක ගාස්තු ලෙස රුපියල් මිලියන 8ක්ද, නිසි පරිදි ඉදිකිරීම් නොකළ ගොඩනැගිල්ල වෙනුවෙන්  රුපියල් මිලියන 14ක්ද ගෙවා ඇති බවත්;

(iv) බාලදක්ෂ “වැඩ සතියේ” උපයන ලද මුදල් භාවිතා කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරකින් තොරව නුවරඑළිය ප්‍රදේශයේ බාලදක්ෂ කඳවුරක් සඳහා ඉදිකරන ලද සිමෙන්ති කුටි තහනම් කිරීම හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මේ වනවිට මෙම මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේද;

(ii) එහි ප්‍රගතිය කවරේද;

(iii) නොඑසේ නම්, ඉදිරි කාලයේදී  මෙම කාරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      දැනට පවතින සංඛ්‍යා ලේඛන අනුව මුළු බාලදක්ෂ දරු දැරියන් සංඛ්‍යාව 67,100ක් පමණ වේ.

              (ii)      පහත සඳහන් පරිදි "බාලදක්ෂ වැඩ සතියෙන්" ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට මුදල් ලැබී ඇති අතර බාලදක්ෂයන් "බාලදක්ෂ වැඩ සතියෙන්" උපයන මුදලින් සියයට 20ක මුදලක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර තව සියයට 20ක ප්‍රමාණයක් දිසා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර ඉතිරි සියයට 60ක මුදල බාලදක්ෂ කටයුතු කරන බාලදක්ෂ කණ්ඩායමට ලැබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන මුදල් නිසි මූල්‍ය රෙගුලාසි අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ නිසි අනුමැතිය සහිතව වියදම් කර ඇති අතර වාර්ෂිකව මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනයකර වාර්ෂික මහා සභාවේ අනුමැතිය ලබාගෙන ඇත.

බාලදක්ෂ වැඩ සතියෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට පසු ගිය වසර පහ තුළ ලැබුණු මුදල් පහත පරිදි වේ.‍

වර්ෂය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලද මුදල් ප්‍රතිශතය

ලද මුදල රුපියල්

2013

25%

4,522,743/-

2014

25%

4,643,912/-

2015

25%

6,130,076/-

2016

20%

6,316,336/-

2017

20%

7,143,486/-

(iii) මූලස්ථාන ගොඩනැඟිල්ල වර්ෂ 2007/2008 වකවානුවේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භකර ඇති අතර විධායක සභාව විසින් පත්කළ ගොඩනැඟිලි කමිටුවක් මඟින් සියලු උපදේශකවරුන් සහ කොන්ත්‍රාත්කරුවන් නිසි ක්‍රමවේදයකට සහ මහා සභාවේ අනුමැතියෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ කමිටු සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් කර නොමැත. සියලු මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනය කර වාර්ෂික මහා සභාවේ අනුමැතිය ලබාගෙන ඇත.

(iv) නුවරඑළිය පීඩ්රෝ බාලදක්ෂ කඳවුර ඉදිකිරීමේදී විධායක සභාව විසින් නිසි අනුමැතීන් සහිතව ඉදිකිරීම් සිදුකර ඇති අතර මෙම ඉදිකිරීම් හේතුවෙන් මූල්‍යමය පාඩුවක් සිදුවී නොමැත.

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) පැමිණිලිවල ස්වභාවය අනුව විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කළ හැකි වේ.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2019-09-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks