04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0070/2019: මුදල් නෝට්ටු මුද්‍රණය: විස්තර

70/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015 වර්ෂයේ සිට අද දක්වා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හා කාසි මුද්‍රණය කළ අවස්ථා සංඛ්‍යාව කොපමණද;

              (ii)      එම මුද්‍රණයන්ට හේතු ක‍වරේද;

             (iii)      එක් එක් අවස්ථාවේදී මුද්‍රණ කළ මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

(iv) එමඟින් රටේ ආර්ථිකයට සිදුවූ යහපත හෝ අයහපත පිළිබඳව පැහැදිලි කරන්නේද;

(v) එම මුද්‍රණයන් හරහා රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ඉහළ හෝ පහළ යාමක් සිදුවූයේද;

(vi) 2018  වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී රුපියලේ අගය පහත වැටීමට අලුතින් මුදල් මුද්‍රණය කිරීම හේතුවක් වී තිබේද;

(vii) එසේ නොවේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) පහත වගුවෙහි දක්වා ඇති පරිදි සලකා බලන කාල පරිච්ඡේදය තුළ අවස්ථා 06කදී ව්‍යවහාර මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති අතර, අවස්ථා 04කදී කාසි ටංකනය කර ඇත.

අයිතමය

විස්තරය

මුදල් නෝට්ටු ඇණවුම්

2014/2015 ඇණවුම

2014/2015 අතිරේක ඇණවුම

2015 ඇණවුම

2016 ඇණවුම

2017 ඇණවුම

2018 ඇණවුම

කාසි ඇණවුම්

2015 ඇණවුම

2016 ඇණවුම

2016/2017 ඇණවුම

2017/2018 ඇණවුම

(ii) 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 49 වන වගන්තියට අනුව ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. එබැවින්, දේශීය ගනුදෙනු සඳහා සරිලන පරිදි අවශ්‍ය ප්‍රමිතියෙන් සහ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි තොග පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වගකීමකි. එසේ වුවද, ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි ඇණවුම් කිරීමේදී, මහජන ඉල්ලුම සහ අදාළ වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින තොග මට්ටම ද සලකා බලනු ලැබේ. ඇතැම් විට මුදල් නෝට්ටු හා කාසි සඳහා වන මහජන ඉල්ලුම ඇස්තමේන්තු කරන ලද ප්‍රමාණය හා ප්‍රමාණවත් නොවන බව පෙනී යන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුව කෙටි කාලයක් තුළ අතිරේක ඇණවුම් සිදු කරනු ලබයි.

(iii) ඇමුණුම් 01හි දක්වා ඇත.

(iv) මුදල් නීති පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීම, එනම් ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීම සඳහා වගකීම ඇත. මුදල් මුද්‍රණය කිරීම යන්න මහ බැංකුව විසින් නෝට්ටු හා කාසි සංසරණය සඳහා මුදා හැරීම ලෙස නිවැරැදිව විස්තර කළ හැකි අතර, මෙය මුළුමනින්ම ආර්ථික සිද්ධාන්ත මත පදනම්ව ඇත. ආර්ථිකය තුළ එදිනෙදා සිදුවන ගනුදෙනු අඛණ්ඩව සිදු කිරීම සඳහා මුදල් අවශ්‍ය වේ. ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට මුදා හැරීම සහ අවශ්‍ය පරිදි මුදල් ප්‍රමාණය පාලනය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලබයි. ඒ අනුව රටෙහි මුදල් සැපයුම, රටෙහි නාමික දළ දේශීය නිෂ්පාදනය (ද.දේ.නි) සමඟ ගැළපිය යුතු මෙන්ම, ගනුදෙනු සුමටව සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සිදු කළ යුතුය.

අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ මුදල් සැපයුමේ වර්ධනය මිල ගණන් ඉහළ යෑමට සහ එමඟින් උද්ධමනය ඉහළ යෑමට හේතු වේ. එම නිසා, මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවතින බැවින් 2015 සිට පැවති මුදල් වර්ධනය ආර්ථිකයට කිසිදු ඍණාත්මක බලපෑමක් කර නොමැත. මුදල් ප්‍රමාණය ඉහළ යෑම ආර්ථික කටයුතු සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මට්ටමක පැවතිණි. තවද, උද්ධමනය 2018 සහ ඉදිරි කාලය තුළ සියයට 4-6 ඉලක්කගත පරාසයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(v) මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම / කාසි ටංකනය කිරීම ඇ.එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය (විනිමය අනුපාතිකය) විචලනය වීම කෙරෙහි ඍජු බලපෑමක් ඇති නොකරයි. මූලික වශයෙන් විනිමය අනුපාතිකය තීරණය වන්නේ දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළේ ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන් මතය.

(vi) දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ විදේශ විනිමය ගෙවීම්, එම වෙළෙඳ පොළ වෙත වූ විදේශ විනිමය ලැබීම් ඉක්මවා යන විට රුපියල අවප්‍රමාණය වීමක් සිදු වේ.

2018 වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී රුපියලේ අගය පහත වැටීමට හේතු වූ කරුණු:

ආනයන වියදම් ඉහළ යෑම.

විදේශීය ණය වාරික සහ පොලී ගෙවීම් ඉහළ යෑම.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් විදේශ විනිමය ආයෝජන ඉවත් කර ගැනීම. (ද්විතීයික වෙළෙඳ පොළ වෙතිනි)

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් විදේශ විනිමය ආයෝජන ඉවත් කර ගැනීම.

දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ අපනයනකරුවන් විසින් විදේශ විනිමය රුපියල්වලට මාරු කිරීම අඩු වීම.

විශේෂයෙන්ම ජාත්‍යන්තර පොලී අනුපාතික ඉහළ යෑම වැනි තත්ත්වයන් කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් විදේශ විනිමය ආයෝජන ඉවත් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. එම නිසා නව නෝට්ටු මුද්‍රණය කිරීම / කාසි ටංකනය කිරීම, 2018 වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී රුපියලේ අගය පහත වැටීමට හේතුවක් වී නොමැත.

(vii) ඉහත (vi) පිළිතුර අදාළ වේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks